හෙට ඡන්දයක් තිබ්බත් දිනන්නේ පොහොට්ටුව!

ඊයේ (01) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයෙහි පැවැත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති මැයි රැළිය සාර්ථක බවත් මහින්ද රාජපක්ෂ මහතා වටා ගොඩනැඟුණු දේශපාලන බලය තවමත් පොහොට්ටුව සතුයැයි එයින් ඔප්පු වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා පවසයි.

ඒ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ අදහස් පහතින් දැක්වේ.

ආණ්ඩු පක්ෂය දේශපාලන වශයෙන් යම් පසුබෑමක සිටින බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය එන විට පොදුජන පෙරමුණු ආණ්ඩුවක් බලයේ සිටීම මේ තත්වයට හේතුවයි. ආර්ථික අර්බුදයට අමතරව පොහොර ප්‍රශ්නය නිසා පොහොට්ටුවට සහාය ලැබෙන ග්‍රාමීය ජන තීරුව ද සැලකිය යුතු බලපෑමකට ලක් වෙලා. ඒ කොයිහැටි වුණත්, මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳ පොදු සමාජ මතය හා ඒ ඔස්සේ ගොඩනැගෙන දේශපාලන බලය තාමත් පොහොට්ටුව සතුව එදා තිබූ ආකාරයෙන් ම තිබෙන බව කිව යුතු වෙනවා. විවිධ අභියෝග මැද අද පැවති සාර්ථක මැයි රැළිය තුළින් පෙන්වා සිටියේ එම දේශපාලන යථාර්ථයයි. විශේෂයෙන් ග්‍රාමීය දේශපාලන නියෝජිතයින් එම බලවේගය සක්‍රිව තබාගෙන සිටිනවා. බැසිල් රාජපක්ෂ නිර්මාණය කළ පොහොට්ටුවේ දේශපාලන විශේෂත්වය ඊට හේතු වෙලා.

ඒ අනුව, හෙට දින මහමැතිවරණයක් පැවැත්වුව ද, වැඩි ආසන දිනාගැනීමේ හැකියාව තිබෙන්නේ පොදුජන පෙරමුණටයි. පවතික අර්බුදය මැද පවා විපක්ෂයේ කිසිදු පක්ෂයකට මැතිවරණයක් ජයගත හැකි ජනතා ආකර්ෂණය දිනා ගැනීමට හැකියාව ලැබී නැහැ.

මේ අතර, පොහොට්ටුව තුළ ස්වාධීන වන හෝ මහින්ද නම් ප්‍රතාපවත් දේශපාලන ප්‍රතිරූපයට එරෙහි වන කිසිවෙකුට ඉදිරි මැතිවරණයකට මුහුණ දියනොහැකි වනු ඒකාන්තයි. ජනාධිපතිවරණයක දී පවා ජය ලබනු ඇත්තේ මහින්ද රාජපක්ෂගේ සහාය ලබන අපේක්ෂකයායි. 2019 දී ගෝඨාභය රාජපක්ෂ පවා ජය ගන්නේ මහින්ද ඔහුට නොමද සහාය ලබාදීම හේතුවෙන් හා බැසිල් රාජපක්ෂ එම සහාය සුදුසු පරිදි කළමනාකරණය කිරීමෙන්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට නාගරික ජන තීරුවක පාවෙන ඡන්ද දායකයින්ගේ සහාය තිබුණ ද එම ඡන්ද තීරුව අතනින් මෙතෙන්ට පාවීම හේතුවෙන් ඒවාට ජනාධිපතිවරයෙකු නිර්මාණය කළ නොහැකියි. ගෝල්ෆේස් විරෝධතා භූමිවල සිටින රාජපක්ෂලාට කොහොමත් එරෙහි අන්තවාදි වාමාංශිකයින්ට අමතරව ඉතිරි පිරිස විවිධ පක්ෂවලට කලින් කල සහාය දෙන පාවෙන ඡන්ද දායකයින් වේ.

මේ අනුව, රටට ජයග්‍රහණ රැසක් ලබා දුන් පොහොට්ටු පක්ෂය විසින් තම දේශපාලන අනාගතය සැලසුම් කිරීමෙි දී තමාට සහාය දෙන තිරසාර ඡන්ද පදනම මූලික කරගෙන එය කළයුතු වෙනවා. පාවෙන ඡන්ද තීරුව එම පක්ෂයට නතු කරගත හැක්කේ ද මෙම ස්ථිර ජනපදනම කළමනාකරණය කර ගැනීම තුළයි.

මහින්ද පතිරණ

Leave a Reply

Your email address will not be published.