“සපුගස්කන්ද පිරිපහදුව යළි ඇරඹේ” පවතින තෙල් තොග ගැනත් හෙළිවෙයි! [VIDEO]

හෙට දිනයේ මෙරටට බොරතෙල් ගොඩබෑම සිදුකිරීමත් සමඟ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩකටයුතු යළි ඇරඹීමට නියමිතව ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩකටයුතු යළි ඇරඹෙන්නේ පසුගිය මාර්තු 20 වනදායින් පසුවය.

ඒ අනුව දින 6 ක් තුළ එහි ඉන්ධන නිෂ්පාදනය ආරම්භ කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ඊයේ (26) දිනය වනවිට ශ්‍රී ලංකාව සතුව ඇති ඉන්ධන සංචිත පිළිබඳවද අමාත්‍යවරයා සිය ටිවිටර් පණිවුඩය ඔස්සේ හෙළිකර තිබේ.

එහි සඳහන් වන්නේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 42,750 මේ වනවිට සංචිතයේ ඇති බවය.

එසේම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 6,579ක්, ඩීසල් මෙට්‍රික් ටොන් 20,598ක්, සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 1,788ක්, ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 3,104ක් ඊයේ දිනය වන විට ඉන්ධන සංචිතවල පවතින බවද එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.