සජබෙන් රටපුරා වගා සංග්‍රාමයක්!

රටට වගකියනු ලබන විපක්ෂයක් ලෙස රටේ සියලු පුද්ගලයක් සම්බන්ධ කර ගනිමින් දැවැන්ත වගා සංග්‍රාමයක් ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එමෙන්ම යල කන්නයේ ගොවි ජනතාවට සිදුව තිබෙන ගොවි ඛේදවාචකය සම්බන්ධයෙන් තමා කම්පාවට පත්වෙන බව කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවැති වැඩසටහනකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.

මෙලෙස පොහොර නොමැති තත්ත්වයක් ඉදිරියේදීත් රට තුළ පවතින්නේ නම් ආහාර පිළිබඳ බරපතළ අර්බුදයක් නිර්මාණය වන බව සඳහන් කළ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා,

“පාරම්පරික දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය අපි සුරකින්න ඕන, ප්‍රමිතිගත කරන්න ඕන. මම අවුරුදු 05කට ආසන්න කාලයක් මම බලාගෙන සිටියා රාජිත සේනාරත්න මහතා කැබිනට් මණ්ඩලයේ සිට කළ ඉමහත් සේවය. අද කියනවා ඖෂධ නෑ කියලා. එදා ඖෂධ මිල ඖෂධ මාෆියාවෙන් බේරාගෙන මොකක්ද ලබාදුන් වටිනාකම? ඒත් අද මුකුත්ම නැති වෙලා ඖෂධ හිඟයක් එනකොට කියයි සුවපති කරපු දේ හරි කියලා.

ලෝක ආහාර ව්‍යාපෘතියේ නිලධාරීන් මම හමුවුණා. ඒ වගේම ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ නිලධාරීන් මම හමුවුණා. ඒ දෙගොල්ලොම කියනවා මාස 10-12ක් තිස්සේ ඉල්ලීමක් කළාලු ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ සංගණනයක් කරන්න. අනුමැතිය ලබාදීලා තිබෙන්නේ මීට සති 04කට කලින්. එදා ඒ සංගණනය කරලා තිබුණා නම් ඒ සංවිධාන දෙකට හැකියාව තිබෙනවා ලෝකයේ ආධාර දෙන ආයතන, ලෝක මූල්‍ය සංවිධානවලට කතා කරලා අපේ රටේ ආහාර හිඟයට යම්කිසි ගබඩාවක ඒ අන්තරාදායක තත්ත්වයකට අවශ්‍ය ඒ ආහාර ප්‍රමාණය තොග වශයෙන් තියාගන්න.

නමුත් මේ අය බයවුණා ආහාර පිළිබඳ සංඛ්‍යාලේඛන හෙළිදරව් වෙයි කියලා. ඒ නිසාම මාස 10-12ක් ලෝක ආහාර පිළිබඳ වැඩසටහනේ සංගණනය කරන්න ඉඩ දීලා නෑ. මොකද සියලු තීන්දු තීරණ ගන්නේ ජනතාවගේ බෙල්ල මිරිකෙන අවස්ථාවකනේ. ඇත්ත වශයෙන්ම මම කම්පා වෙනවා මම යල කන්නයේ සිදු වෙන්න යන මහා ඛේදවාචකයට.

ඒක මහා ගොවි ඛේදවාචකයක් වෙනවා. පැහැදිලිවම මේ රටේ මේ ආකාරයෙන් පොහොර නොමැති තත්ත්වයක් ක්‍රියාත්මක වුණොත් බරපතළ ආහාර ප්‍රශ්නයක් එනවා. අපි වගකිවයුතු විපක්ෂයක් ලෙස ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා සියලු දෙනා සම්බන්ධ කරගෙන දැවැන්ත වගා සංග්‍රාමයක්” යනුවෙන් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.