“වාර්තාගත අපනයන ආදායමක්” මුල් මාස 4ට ඩොලර් මිලියන 4,165ක්!

ආර්ථික අර්බුද තත්ත්වය මධ්‍යයේ මේ වසරේ මුල් මාස හතරක කාලයේදී අමෙරිකන් ඩොලර් මිලියන 4,165.20ක අපනයන ආදායමක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

පසුගිය වසරේ එම කාලයේ දී ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 3,800.30ක අපනයන ආදායමක් වාර්තා කර තිබෙන අතර එහි 9.6%ක වර්ධනයක් පෙන්නුම් කරමින් මේ වසරේ මුල් මාස හතරක කාලයේ දී විශාල වශයෙන් වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

මේ වසරේ අප්‍රේල් මාසයේ දී පමණක් වෙළඳ භාණ්ඩ අපනයන ඉපැයීම් පෙර වසරට සාපේක්ෂව සියයට 11.87ක වර්ධනයක් පෙන්නුම් කරන අතර ඒ අනුව පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී ලබාගත් ඩොලර් මිලියන 818.20ට සාපේක්ෂව මේ වසරේ අප්‍රේල් මාසයේ දී ඩොලර් මිලියන 915.30ක අපනයන ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ. එය මෙතෙක් අප්‍රේල් මාසය සඳහා වාර්තා වූ ඉහළම මාසික අපනයන අගය බවද අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙයි.

මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඇඟලුම් සහ රෙදිපිළි, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ඉපැයීම් ඉහළ යාම බවද විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික සංරචක අපනයනයේ සහ මුහුදු ආහාර අංශයේ සැලකිය යුතු වර්ධනයක් වාර්තා විය.

වත්මන් අර්බුදයට කඩිනම් විසඳුමක් අපේක්ෂා කරන අතරතුර අපනයනකරුවන්ට ඉන්ධන සහ බලශක්තිය සැපයීම සඳහා කාර්යක්ෂම පහසුකම් සැලසීම අත්‍යවශ්‍ය බවද අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩී ද මෙල් මහතා පවසයි.

“අපි එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ වෙළඳපොළ කොටස තහවුරු කරන අතරම විශේෂිත වෙළඳපොළ කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. එයට සමගාමීව අපනයන නිෂ්පාදන විවිධාංගීකරණය කළ යුතු අතර එමඟින් ශ්‍රී ලංකාව සඳහා අද අපට අත්‍යවශ්‍ය වී ඇති ඩොලර් වැඩියෙන් උපයාගතහැකි කර්මාන්ත ඇති කළ හැකිය” යනුවෙන් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර 2022 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 1,188.8ක් වූ අතර එය 2021 අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 96.2ක වර්ධනයකි.

මහින්ද අලුත්ගෙදර

Leave a Reply

Your email address will not be published.