ව්‍යාපාරිකයන්ට ඩීසල් ලීටර් 4000ක් දුන් පොලිස් නිලධාරීන් ගැන පරීක්ෂණ!

පිළිමතලාව ප්‍රදේශයේ සිපෙට්කෝ ඉන්ධන පිරහුම් හලකට පැමිණ එහි කළමනාකරුට තර්ජනය කොට ව්‍යාපාරිකයන් පිරිසකට ඉන්ධන ලබා දුන් බව කියන කඩුගන්නාව පොලිසියේ රථවාහන අංශ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව මධ්‍යම පළාත්නියෝජ්‍ය පොලිස්පති ශ්‍රියන්ත පීරිස් මහතාගේ උපදෙස් පරිදි විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ඉන්ධන හලේ කළමනාකාරීත්වය විසින් නියෝජ්‍ය පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලකට අනුව එම විමර්ශනය ආරම්භ වී තිබේ .

ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝලිම් වල ජනතාව රැඳී සිටියදීමෙම පොලිස් නිලධාරීන් දෙදෙනා අදාල ව්‍යාපාරිකයන් පිරිස පෝලිමට පිටින් ගෙන්වා ඩීසල් ලීටර 4000ක් ඔවුන්ට ලබාදී ඇති බවට ඉන්ධන පිරහුම් හලේ කළමනාකාරීත්වය විසින් නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිලි කොට තිබේ. ඒ සම්බන්ධයෙන් ඔවුන් කඩුගන්නාව පොලිසියට ද පැමිණිලි කොට තිබේ .

ඉන්ධන පිරවුම්හලේ අධික වාහන තදබදයක් පවතින නිසා කිසියම් නොසන්සුන්තාවක් ඇති වේයැයි බියෙන් පොලිස් නිලධාරීන්ගේ සහාය ලබා දෙන ලෙස තමන් කඩුගන්නාව පොලිසියට දැනුම් දුන් අවස්ථාවේ මෙම රථවාහන අංශ නිලධාරීන් දෙදෙනා පැමිණි බවත් ඔවුන් වාහන හැසිරීම වෙනුවට කළේ හිතවතුන්ට ඉන්ධන බෙදාදීම බවත් කළමණාකාරවරයා පැවසීය .

එම ඉන්ධන පිරවුම්හලට ඉකුත් 25 වැනි දින දහවල්1:30 ට තෙල් ලීටර 6500 ක් රැගෙන බවුසරයක් පැමිණි බවත් ඉන් ලීටර 4000 ක් පමණ පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීම මත ඔවුන්ගේ හිතවත් ව්‍යාපාරිකයන්ට ලබා දීමෙන් විශාල පිරිසකට ඉන්ධන ලබා ගැනීමට නොහැකි වූ බව ද කළමනාකාරවරයා පැවසීය .

සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකු ගේ මෙහෙයවීමෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට ඇති බවත් එම සිද්ධියට පොලිස් නිලධාරීන්ගේ සම්බන්ධයක් ඇත්නම් දැඩි විනය පියවර ගන්නා බව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published.