වනිඳු මගේ පීඩනය එහෙම් පිටින්ම නැති කළා!

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී ලකුණු 58 කට කඩුලු 5 ක් බිඳවැටී තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම 170 ක් දක්වා ගෙන යෑම සඳහා වනිඳු හසරංගගෙන් තමාට අගනා සහයක් ලැබුණ බවත්, එහිදී අඩු පන්දු සංඛ්‍යාවකින් වේගවත් ඉනිමක් ක්‍රීඩ‍ා කළ වනිඳු තමා‍ගේ හිස මතට වැටී තිබූ පීඩනය මුළු මුනින්ම නැති කර දැමූ බවත් භානුක රාජපක්ෂ තරගයෙන් අනතුරුව කියා සිටියේය. ‍අ

ඉනිමේ 8 වැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී 5 වැනි කඩුල්ලත් ශ්‍රී ලංකාවට අහිමි කරමින් නායක දසුන් ශානක දැවී ගියේය. කෙසේ වුවත් එතැන් පටන් වනිඳු (36) සමග එක්වූ භානුක (නොදැවී 71) හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 36 කදී ලකුණු 58 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. වනිඳුගේ දැවී යෑමෙන් පසු ලකුණු ලබාගැනීම වේගවත් කළ භානුක, හත්වැනි කඩුල්ල සඳහා චාමික කරුණාරත්න (නොදැවී 14) සමග එක්ව පන්දු 31 කදී ලකුණු 54 ක්ද එක් කළේය.

“මුල් ඕවර 10 න් පස්සේ පුහුණුකරු ක්‍රීඩාංගණයට ඇවිල්ලා කිව්වා මටයි වනිඳුටයි ඕවර 15 ක් වෙනකන් පිතිහරඹයේ යෙදෙන්න කියලා. ඒ වෙලාවේ ඔහු මගෙන් ඇහුවා ලකුණු කීයක් විතර ගහන්න පුළුවන්ද කියලා. මම කිව්වා ලකුණු 130 ක්, 140 ක් ගැහුවත් මේ තණතීරුවේ හැටියට ඒක ලොකු ලකුණු සංඛ්‍යාවක් වෙයි කියලා. මොකද තණතීරුව අපි හිතපු තරම් ලේසි වුණේ නැ. පන්දුව හොඳින් දෝලනය වුණා.” යැයි භානුක පැවසීය.

“ඇත්තටම ගෞරවය යා යුත්තේ වනිඳුට. ඔහු ඇවිල්ලා එහෙම් පිටින්ම මගේ පීඩනය නැති කරලා දැම්මා. එයා අඩු පන්දු සංඛ්‍යාවකින් වේගවත් ලකුණු 35 ක් වගේ රැස්කළා. එතකොට මට තිබුණේ ඕවර 20 පිතිහරඹයෙ යෙදෙන්න විතරයි. මුල් පිතිකරුවන් පස් දෙනාගෙන් එක්කෙනෙක් කඩුල්ලේ රැදී සිටියොත් පසුපෙළ පිතිකරුවන්ටත් වේගයෙන් ලකුණු රැස්කරන්න පුළුවන් නිසා ලකුණු 160 ක්, 170 ක් රැස්කරන්න පුළුවන් වෙයි කියලා අපි දැනගෙන හිටියා.” යැයිද භානුක සඳහන් ‍කළේය.

වසර 8 කට පසුව ආසියානු කුසලාන තරගාවලියක් ජයගැනීමට හැකිවීම සම්බන්ධනේ භානුක කියා සිටියේ මෙම ජයග්‍රහණය පසුපස ක්‍රීඩකයන්ගේ සහ පුහුණුකරුවන්ගේ විශාල කැප කිරීම් සැඟව ඇති බවත්, එය කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් එකමුතුවී ලබාගත් ජයග්‍රහණයක් බවත්ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද කියා සිටියේය.

“මීට දශක දෙකකට පමණ පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳ ආක්‍රමණශීලි බවක් තිබුණා. අපිට ඕනේ නැවතත් එය ඇති කරන්න. කණ්ඩායමක් විදිහට අපි එය හොඳින්ම කරමින් ඉන්නවා කියලා මම හිතනවා. ජාතියක් විදිහට මේක අපි ලබපු විශාල ජයක්. මේක ශ්‍රී ලංකාවට ගොඩක් අමාරු කාලයක්. අර්බුද ගණනාවකට මැදි වෙලා ඉන්න මේ වගේ වෙලාවක ජනතාවගේ මුහුණට සිනහවක් ගෙන ඒමට හැකි වීම සම්බන්ධයෙන් අපි හුඟක් සතුටු වෙනවා.” එහිදී භානුක කීවේය.

පන්දු 45 කට මුහුණදුන් භානුක හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 71 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 170 ක් දක්වා ඔසවා තැබුවේය. එහිදී පන්දු 35 කින් අර්ධ ශතකය සම්පූර්ණ කළ භානුකට ඉතිරි ලකුණු 21 ක ලබාගැනීම සඳහා වැය වූයේ පන්දු 10 ක් පමණි. අවසන් ඕවරයේ පන්දු 4 ක් යවා තිබියදී ලකුණු 160 ක් ලෙස සටහන් වූ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉතිරි පන්දු දෙකේදී ලකුණු 170 ක් බවට පත්කිරීමට ඔහු සමත් වූයේ පිට පිට හතරේ පහරක් සහ හයේ පහරක් එල්ල කරමිනි.

“මේක ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරපු කෙටි කාලයේදී මම ක්‍රීඩා කරපු හොඳම ඉනිමක්. ඉදිරියේදීත් කණ්ඩායම වෙනුවෙන් තරග දිනවන ඉනිම් ක්‍රීඩා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඒත් ඒක මට තනියම කරන්න පුළුවන් දෙයෙක් නෙමෙයි. ඒකට නායකයගෙ වගේම කණ්ඩායමේ අනිත් ක්‍රීඩකයන්ගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙන්න ඕන. මේ තරගයෙදි වුණත් මට හොඳින් ලකුණු රැස්කරන්න ලැබුණේ කණ්ඩායමේ අනිත් ක්‍රීඩකයන්ගේ සහයෝගය නිසා” යැයි භානුක පැවසීය.

භානුකගේ ඉනිම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාකිස්තාන කණ්ඩයමේ පුහුණුකරු සක්ලේන් මුෂ්ටාක් මහතා තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කියා සිටියේ භානුක මේ දක්වා සිය ක්‍රීඩා දිවිය තුළ ක්‍රීඩා කර ඇති හොඳම ඉනිම මෙය විය යුතු බවය. එහිදී ඔහු පීඩනය මැඩ පවත්වාගනිමින් තරගයේ පාලනය පාකිස්තානයෙන් උදුරාගත් ආකාරය ඉතාමත් අනර්ඝ බවද මුෂ්ටාක් මහතාගේ අදහස විය.

“ජයග්‍රහණයේ සියළුම ගෞරවය ශ්‍රී ලංකාවට හිමිවිය යුතුයි. මුල් ඕවර කිහිපයේදී අපි ශ්‍රී ලංකා ඉනිමේ නාරටිය බිඳ දැමුවට පසුවත්, භානුක රාජපක්ෂ ක්‍රීඩා කළ විදිහෙන් තරගය කණපිට හැරුණා. අනතුරුව සෙසු ක්‍රීඩකයනුත් ඔහුට හොඳ සහයෝගයක් ලබා දුන්නා. ඒ ගැන කොතරම් වර්ණනා කළත් මදි. මොකද පළමු ඕවර 9 තුළ අපි ඔවුන්ව බෙල්ල මුලටම හිර කරලයි තිබුණේ. ඒත් ඉන් එහාට භානුක තරගය ගෙන ගිය විදිහ අති විශිෂ්ඨයි.” යැයිද මුෂ්ටාක් මහතා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *