ලංකාවට මංගල ගමන ආ සුඛෝපභෝගී මගී නැව අයත් සමාගම බංකොලොත්! [VIDEO]

Dream Cruise Lines සුඛෝපභෝගී මගී නෞකාවන් අයත් Genting Hong Kong සමාගම සිය බංකොලොත්භාවය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.

මේ වන විට අධිකරණ නියෝග අනුව එම සමාගමේ වත්කම් ඈවර කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතී.

මේ අතර හොංකොං කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර තිබුණු Genting Hong Kong සමාගමේ කොටස් ගනුදෙනු 2022 ජනවාරි 18 දින සිට අත්හිටුවා තිබේ. තවද අදාළ ලැයිස්තුගත අවශ්‍යතා සපුරාලීම සඳහා සමාගමට මාස 18ක කාලයක් ලබා දී ඇති අතර 2023 ජූලි 17 වන එකී අවශ්‍ය සපුරාලීමට අපොහොසත් වුවහොත් කොටස් වෙළෙඳපොළ ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ද තීරණය වී ඇත.

Genting Hong Kong විසින් Dream Cruises දියත් කරන ලද්දේ ආසියානු වෙළඳපොළ කෙරෙහි අවධානය යොමු කරන ලද මගී නෞකා සන්නාමයක් ලෙසිනි.  Explore Dream, Genting Dream හා World Dream යනුවෙන් අධිසුඛෝපභෝගී මගී නෞකා ත්‍රිත්වයක් Dream Cruises නෞකා සේවය සතුව තිබුණි. සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව, තායිවානය, පිලිපීනය, ජපානය, වියට්නාමය හා චීනය යා කරමින් මෙම නෞකාවන් හි මුහුදු ගමන් දියත් වුණි.

මේ අතුරින් Dream Cruise Lines සේවයට අයත් ලොව විශාලතම අධිසුඛෝපභෝගී මගී නෞකාවක් වූ Genting Dream මගී නෞකාව සිය මංගල මුහුදු ගමනේ දී 2016 ඔක්තෝබර් 31 දින කොළඹ වරායට ද සේන්දු විය.

එය අවන්හල් 35 ක්, කැසිනෝ, submersibles, waterslide park, spas, kids clubs, Zouk nightclub, අති විශාල සිනමා ශාලාවක් යනාදී අංග ගණනාවක් සන්නද්ධ වූ අධිසුඛෝපභෝගී නෞකාවකි.

කොවිඩ් වසංගත තත්ත්වය තුළ ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවති මූල්‍ය අර්බුදකාරීත්වය හමුවේ Genting Hong Kong සමාගම කියා සිටියේ ඩොලර් බිලියන 1.7 ක පාඩුවක් සමාගමට අත්විඳීමට සිදුව ඇති බවයි. Dream Cruises පැවසුවේ එහි ද්‍රවශීලතාවය අඛණ්ඩව පිරිහෙමින් පවතින බවත් අමතර බාහිර මූල්‍ය පහසුකම් ලබා ගැනීමට තමන්ට නොහැකි වූ බවත්ය. ණයහිමියන්ගේ දැඩි පීඩනය හේතුවෙන් මෙහෙයුම් අත්හිටුවීමට තීරණය කළ බව සමාගම වැඩිදුරටත් පවසයි.

2016 වසරේ දී Genting Dream  නෞකාව කොළඹ වරායට පැමිණි අවස්ථාවේ දී එහි නිරීක්ෂණ  චාරිකාවේ දී ලබාගත් රූප රාමු කිහිපයකි.

Leave a Reply

Your email address will not be published.