රෝයල් චැලෙන්ජර්ස් අසරණ කළ තීක්ෂණගේ පන්දු යැවීම! [VIDEO]

රොබින් උතප්පා සහ ශිවම් ඩුබේගේ වාර්තාගත පිතිකරණය සහ මහීෂ් තීක්ෂණගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ (12) සමත් විය.

ඒ, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරාජයට පත්කරමිනි.

මුම්බායිහිදී පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායමේ පළමු කඩුලු 2 ලකුණු 36ක් තුළ දැවීගියේය.

නමුත් අනතුරුව පිටියට එක්වූ රොබින් උතප්පා සහ ශිවම් ඩුබේ ප්‍රෙව්ගකාරි පිතිහරඹයක නිරත වෙමින් තුන්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සබඳතාව ලකුණු 167කි.

එය මෙවර තරග වාරයේ පිතිකරුවන් දෙදෙනෙක් ගොඩනැගූ ඉහළම සබඳතාවය වෙයි.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ශිවම් ඩුබේ පන්දු 46කදී හයේ පහර 8ක් සහ හතරේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 95ක් රැස් කළේය.

රොබින් උතප්පා පන්දු 50කදී හයේ පහර 9ක් සහ හතරේ පහර 4ක් සමගින් රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 88කි.

පන්දු යැවීමේදී වනිඳු හසරංග ලකුණු 35කට කඩුළු 2ක් දවාගත්තේය.

චෙන්නායි කණ්ඩායම අවසන් පන්දුවාර 10දී ලකුණු 156ක් රැස් කරගත් අතර එය වාර්තා අතරට එක්වූයේ අයි.පී.එල් ඉතිහාසයේ අවසන් පන්දුවාර 10දී රැස් කළ තුන්වන ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසය.

ඒ අනුව, චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 216ක් රැස් කළේය.

ලකුණු 217ක ජයග්‍රාහි ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි බැංගලෝර් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 193ක් පමණි.

එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ මහීෂ් තීක්ෂණ ලකුණු 33කට කඩුළු 4ක් දවාගත්තේය.

අඛණ්ඩව තරග 4ක් පරාජය වීමෙන් පසු චෙන්නායි කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ පළමු ජයග්‍රහණය මෙය වෙයි.
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *