“රාජ්‍ය සේවකයන් කප්පාදුවක්” කරන්න යන වැඩේ ගැන හෙළිවෙයි!

ලක්ෂ 15කට ආසන්න සේවක සංඛ්‍යාවක් සිටින රාජ්‍ය සේවය සම්බන්ධයෙන් මෑතක සිට නව තීරණ රැසක් ක්‍රියාත්මක කිරීමට රජය සැරසී තිබේ. රාජ්‍ය සේවය කප්පාදුවක් සිදු වෙනවාද සහ රාජ්‍ය සේවකයන් සඳහා හඳුන්වාදී ඇති වගා සංග්‍රාම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත් වූ එම්.එම්.පී.කේ. මායාදුන්නෙ පුවත්පතක් සමග කළ සාකච්ඡාවක් මෙසේයි.

රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය ආයතන සඳහා සේවකයන් කැඳවීම සීමා කරලා තියෙනවා. මේ හරහා රාජ්‍ය සේවකයන් කප්පාදුවක් සිදු කිරීමටද යන්නේ?

මෙය කිසිසේත් එවැනි දෙයකට අරඇඳීමක් නෙමෙයි. මෙය මේ මොහොතේ උද්ගත වී ඇති තත්ත්වයන් සැලකිල්ලට ගෙන වෙනත් අවශ්‍යතාවන් නිසා ගත් තීරණයක්. ප්‍රධාන වශයෙන්ම රාජ්‍ය සේවකයන් ගෙදර තියලා වැඩ කරන්නේ ප්‍රවාහන අපහසුතාවය සැලකිල්ලට ගෙන. ඒ වගේම දැනට රජයේ ව්‍යපෘතිවලට තියෙන අරමුදල් සිමා කිරීමක් කරලා තියෙනවා. එම නිසා ඒ තරම් සේවක සංඛ්‍යාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ නිසා සේවාවේ අත්‍යවශ්‍ය තත්ත්වයන් අනුව සේවකයන් ආයතනවලට ඇවිල්ලා රාජකාරි කරනවා. සීමිත වෙන කටයුතු ගෙදර ඉඳන් කරනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ.

එම වැඩපිළිවෙළ කොතරම් දුරට සාර්ථකද? මොකද මේ හරහා කෙනෙකුට හිතෙන්න පුළුවන් වියදම් අඩු කිරීම සඳහා මෙම වැඩපිළිවෙළ දීර්ඝකාලීනව කරන්න පුළුවන් කියලා…

මේ හරහා කිසිම කාර්ය සාධනයේ අඩුවක් වෙලා නැහැ. මොකද හේතුව ගෙදර ඉඳන් කරන්නේ ගෙදර ඉඳන් කරන්න පුළුවන් ටිකනේ. එම නිසා මේ හරහා සේවා සැපයීමේදී බාධාවක් වෙලා නැහැ. රාජ්‍ය සේවයේ සමහර කටයුතු තියෙනවා ඒවාට මේ වෙලාවේ වෙනදා විදියටම ප්‍රතිපාදන ලැබෙන්නේ නැහැනේ. ඒ නිසා සීමිත වන වැඩ රාජකාරි වෙනුවෙන් සේවා ස්ථානයට ඇවිල්ලාම ඒ රාජකාරිය කරන්න ඕන නැහැ. එතකොට සේවකයන් කැඳවීම සීමා කරන්න පුළුවන්. හැබැයි අපි මෙම වැඩසටහන දීර්ඝකාලීනව කිරීම සම්බන්ධව සලකා බලනවා. අපි ඒ සඳහා දත්ත පද්ධතියක් (ඩේටා බේස්) සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ විදියට සේවා සැපයීමේ ක්‍රමය වෙනස් කිරීමට අපි කටයුතු කරනවා. යම් ආයතනයකට සේවා ලබා ගැනීමට පැමිණෙන පිරිස සියයට පනහකින් අඩු කරන්න ඕන. ඔවුන්ට ආයතනයට පැමිණෙන්නේ නැතුව නිවසේ සිට සේවාව ලබා ගැනීමේ ක්‍රමවේදයකට ගෙනියනවා. එමගින් ජනතාවගේ කාලයත්, මුදලත් ඉතිරි කරමින් රටේ සම්පත් අරපිරිමැස්ම ආදියත් සමග වඩාත් පහසු සහ කාර්යක්ෂම රාජ්‍ය සේවයකට යෑමේ අවස්ථාව තිබෙනවා.

හැබැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් කොන්දේසි පහක් පනවලා තියෙනවා. ඒ අතර රාජ්‍ය සේවකයන් කප්පාදුවක් ගැන කියනවා. එම කොන්දේසි ක්‍රියාත්මක වුණොත් ඇත්තටම එවැනි කප්පාදුවක් කරනවද?

මෙහෙමයි, අපි මේක කළමනාකරණය කරන්නේ රාජ්‍ය සේවකයාට හානියක් නොවන ආකාරයට. ඔවුන්ට අසාධාරණයක් නොවී උපරිම සාධාරණයක් වෙන විදිහට. උදාහරණයක් හැටියට රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය නොවන පිරිසක්, තවදුරටත් තනතුරක නිකරුණේ කල් මැරීම වෙනුවට, එවැනි අය විදේශ ගත වුණොත් වැඩි වෙන්නේ නැහැනේ. ඒ කාටවත් අවැඩක් වෙන්නෙත් නෑ. එතකොට ඒක සේවක කප්පාදුවක් නොවේ. කිසිම කෙනෙකුට අසාධාරණයක් නොවන විදියට කළමනාකරණය කරන්න ඕන. අපි සේවකයන්ට දෙනවා වසර පහක්. මෙන්න මේ කියන කාණ්ඩවලට රට යන්න. එහෙම දුන්නොත් කවුරුත් අකමැති වෙන්නේ නැහැ.

එලෙස රාජ්‍ය සේවකයන් විදේශ ගත වුණත්, පසු කාලයකදී ඒ ඒ සේවාවන් පුරප්පාඩු වෙලා සේවා අවශ්‍යතාවන් ඉටු නොවී එය රාජ්‍ය සේවයට අනිසි විදිහට බලනොපායි කියලා දෙන්න පුළුවන් සහතිකය මොකක්ද?

නැහැ, එහෙම වෙන්නේ නැහැ. මේ යවන්නේ අතිරික්ත පිරිස. මෙච්චර කාලයක් රාජ්‍ය සේවය කාඩර්වලට නෙවේනේ බඳවා ගත්තේ. උපාධිධාරීන් බඳවා ගන්නකොට බඳවා ගත්තේ රාජ්‍ය සේවයේ පුරප්පාඩු තිබිලා නෙවේ. ප්‍රතිපත්තියක් විදියටයි බඳවා ගත්තේ. උපාධිධාරීන්ට රැකියා දෙන්න ඕන කියන ප්‍රතිපත්තියට තමා බඳවාගෙන තියෙන්නේ.

එතකොට ඔබ පිළිගන්නවා රටට ඔරොත්තු නොදෙන රාජ්‍ය සේවක අතිරික්තයක් තිබෙනවාය කියලා….

ඉතින් දැන් පුරප්පාඩු නැතුව බඳවා ගත්තාම එවැනි අතිරික්තයක් ඇතිවන එක අරුමයක් නෙමෙයිනේ. නමුත් ඒ පිරිස් බලය අපතේ යන්න නොදී අපි හරි විදිහකට ප්‍රයෝජනයට ගන්න එපැයි. රජය එවැනි ප්‍රතිපත්තියක් ගත්තාම මෙම බඳවා ගත් පිරිස ප්‍රයෝජනවත් විදියට යොදවා ගැනීම තමයි ලේකම්වරයා විදියට මගේ වගකීම. එතකොට මම කරන්නේ මේ වෙලාවේ ඒක රටට සහ සේවකයන්ට ප්‍රයෝජනවත් විදියට කළමනාකරණය කිරීමයි. ඒ අනුවයි මෙවැනි වැඩසටහන් යෝජනා කරන්නේ.

දැන් මෙතැන තිබෙන එකම විකල්පය ඔවුන්ව විදේශ රැකියා සඳහා යොමු කිරීම විතරද? ඒ වෙනුවට ඔවුන්ව මෙරට ව්‍යවසාකයන් බවට පත් කිරීම සඳහා වැඩපිළිවෙළක් නැද්ද? රටේ නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් සෘජුව දායක කරගන්න ක්‍රමයක් නැද්ද? විශේෂයෙන්ම උපාධිධාරීන් වගේ අයව මේ රටට වඩාත් යහපතක් වෙන විදිහට යොමු කරගන්න බැරිද?

ඒ සඳහා අවධානය යොමු වෙමින් පවතිනවා. තාම එය සංකල්පීය මට්ටමේ තියෙන්නේ. මොකද ඒ ගැන අධ්‍යයනයක් කරන්න ඕන.

රජ්‍ය සේවකයන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් ගැන අවධනය යොමු වෙලා තියෙනවද?

නැහැ, තාම එහෙම හිතලවත් නැහැ.

ඒ වගේම දැන් රාජ්‍ය සේවකයන් සඳහා සතියකට එක් දිනක් නිවාඩු ලබා දීලා වගා කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. ඇත්තටම ඔවුන් නිවාඩුවත් අරගෙන වගා කරයිද?

අපිට තේරෙනවා නම් ආහාර හිඟයකට යනවා කියලා වගා කර ගන්න ඕන. ඒක තමන්ටනේ. අනික ඒ වැඩපිළිවෙළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා සිද්ධ වෙන වැඩක්. වගා කරන බවට සහතික විය යුතුයි. එය නිරන්තරයෙන් ග්‍රාමීය කමිටු හරහා අධීක්ෂණය වෙනවා. එම නිසා නිවාඩු අරගෙන නිකන් ඉන්න බැහැ. අපිට ශ්‍රී ලාංකිකයන් විදියට අභියෝග ජය ගැනීමට බැරි නැහැ. අපි ඉතිහාසය පුරා එය ඔප්පු කරපු පිරිසක්. අපිට ජානමය විශේෂ හැකියාවක් තියෙනවා ඕනෑම අර්බුදයකින් ගොඩ එන්න පුළුවන්. රාජ්‍ය සේවකයාත් මේ සටනට අපි හැකි හැම අයුරකින්ම දායක කරගන්න ඕනි.

එවැනි දායක කරගැනීමකට සමාන්තරව රාජ්‍ය සේවයේ යම් සදාචාරාත්මක ශෝධනයක් කළ යුතුයි කියලා හිතෙන්නෙ නැතිද? මොකද රටවැසියාගේ විශාල චෝදනාවක් තියෙනවා රාජ්‍ය නිලධාරීන් දූෂිතයි කියලා. රට අද පත්ව ඇති තත්ත්වයට සමහර විටක දේශපාලකයන්ටත් වඩා වගකිව යුත්තේ රාජ්‍ය නිලධාරීන් කියලත් චෝදනාවක්, විවේචනයක් තිබෙනවා…

යම් රාජ්‍ය නිලධාරියෙක්ගේ වැරදි හෝ දූෂිත හැසිරීමක් මට ආරංචි වුණොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්න මම කිසිවිටෙකත් පසුබට වෙන්නේ නෑ. මම දැන් වෙනම විමර්ශන අංශ සමග කතා කරලා තියෙනවා. දූෂිත නිලධාරීන් ගැන ඔප්පු කළ හැකි තොරතුරු ආවොත් සමාවක් නැහැ ඒ අයට මගෙන්. ජනතාවට අසාධාරණයක් වෙන්න දෙන්න බැහැ. මම හිතනවා මං ගැන දන්නා අය ඒ ගැන අවධානයෙන් ඉන්නවාය කියලා. කාටවත් අපහාසයක් කරන්න නෙවෙයි මම මෙහෙම කියන්නේ. ඇත්තම කතාව තමයි වැඩියෙන්ම රටට ආදායම උපයලා දෙන්නේ පාසලේ අටට ගිය අය. හැබැයි වාහන දීලා, ගොඩනැගිලි දීලා, නිවාස දීලා, වැටුප් ගෙවලා, විශ්‍රාම වැටුප් දීලා මේ කියන හැම පහසුකමක්ම ගන්න පිරිස රටට ආදායම උපයලා දෙන්නේ නැහැ. එම නිසා මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕන.

(සංවාදය – චාමර පල්ලේගෙදර -අරුණ)

Leave a Reply

Your email address will not be published.