රනිල්ද? සජිත්ද? දේශපාලන විසඳුම තවත් ඈතටද?

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා පැවැති සාකච්ඡාවකින් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට කැමැත්ත ප්‍රකාශ තිබේ.

ඒ අනුව අද පස්වරු 6.00ට පමණ ඔහු නව අගමැති ලෙස දිවුරුම්දීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ නායක මෙන්ම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මීට ටික වේලාවකට පෙර ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකරමින් සඳහන් කර ඇත්තේ තමන් අගමැතිධුරය කෙටිකලකට භාර ගැනීමට සූදානම් බවයි.

එසේම හෙට දිනයේදි නව රජයක් පිහිටුවීම සඳහා සාකච්ඡා කිරිමට තමන් සූදානම් බවත් ඔහු මෙම ලිපියෙන් සඳහන් කර තිබේ.

මේ අනුව දේශපාලන පිටිය තුළ තවත් ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබේ. ඒ රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම සජිත් ප්‍රේමදාස මහතාද අගමැතිධුරය භාර ගැනීමට සූදානම් හෙයිනි.

ඔවුන් දෙදෙනාගෙන් කවුරු අගමැති වුවත් නව අගමැති ලෙස පත්වීමට නම් පාර්ලිමේන්තුව තුළ බහුතරයකගේ කැමැත්ත ලබාගත යුතු වෙයි.

ඒ අනුව දේශපාලනය තුළ නව අගමැතිවරයෙක් තෝරා පත්කර ගැනිමේ අවස්ථාව තවදුරටත් ව්‍යාකූල වෙනු ඇත. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිට පෙර සජිත් ප්‍රේමදාස මහතාගෙන් අගමැතිධුරය භාර ගන්නා ලෙස ඉල්ලීම් කර තිබුණත් සජිත් ප්‍රේමදාස මහතා එය ප්‍රතික්ෂේපකරමින් සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිධුරයෙන් ඉවත් වන්නේ නම් අගමැති ධුරය භාර ගන්නා බවයි.

මෙම දේශපාලන අස්ථාවරත්වය ඉදිරියට ගෙන යන දිනක් පාසා ශ්‍රී ලංකාව විශාල ලෙස අර්බුදයට පත්වෙයි. දේශපාලනයේ නිරත සියලු දෙනාගේම මේ අවස්ථාවේදී වගකීම විය යුත්තේ මෙම ව්‍යාකූල තත්ත්වය කඩිනමින් සමනය කර දේශපාලය තුළ ස්ථාවරත්වයක් ඇති කිරීමයි.

Leave a Reply

Your email address will not be published.