මින්නේරියේ ගිලෙන අලි..!

ආසියාවේ අලි එකතු වෙන්න ඇති විශාලතම සහ වැදගත්ම ස්ථානය වන්නේ මින්නේරිය ජාතික වනෝද්‍යානය ලෙස සැලකෙයි.

අප්‍රේල් මාසය වනවිට මින්නේරිය කවුඩුල්ල සෝමාවති යන ප්‍රදේශවලින් පැමිණෙන සියලුම අලි ඇතුන් මින්නේරිය ආශ්‍රිතව ඇති මෙම ස්ථානයට එක්රැස්වේ.

මින්නේරිය වැව ඉස්මත්තට එක්රැස් වන විවිධ ප්‍රදේශවලින් පැමිණෙන අලි ඇතුන්ට බහුල වශයෙන් මෙහි පිරී පවතින නාඹර තණකොළ බහුලවීම, වැහිබර කාලගුණය පහව ගොස් වැවේ වතුර ප්‍රමාණයද අඩුවීම තුළ සතුන්ට නිදහසේ සැරිසැරීමට අවකාශය ස්වභාවිකවම නිර්මාණය වී ඇත.

අලි ඇතුන් 400ක්, 500ක් පමණ මෙම ස්ථානයට එක්රැස් වන අතර, ආසියාවේ අලි ඇතුන් බහුල ලෙස ගැවසෙන ප්‍රදේශයක් ලෙස මෙම ප්‍රදේශය ලොව පුරා ප්‍රසිද්ධය. එකම ස්ථානයක විශාල අලි රංචුවක් එක්රැස්වීම මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ආකර්ශනයට හේතු වී ඇත.

රට පුරා සංචාරය කරන සංචාරකයින් එක් වරක් හෝ මින්නේරිය අභය භූමියට වෙත පැමිණේ. සංචාරකයින් මෙම අලිගහනය නිදහසේ සැරිසරන ඡායාරූපයක් ලබා ගැනීම වෙනුවෙන් කටයුතු කිරීම සුවිශේෂී ය. මෙම ඡායාරූපය ශ්‍රී ලංකාවේ අලින් පිළිබඳව වූ අනන්‍යතාවය පූර්ණ කරයි.

මොරගහකන්ද ජලාශයේ ජලය කවුඩුල්ල මින්නේරිය වැනි වැව්වලට මුදා හැරීම හේතුවෙන් අලිගහනය වෙනුවෙන් ස්වභාවිකව සැකසී තිබූ නිදහස් තණ නිල්ල ජලයෙන් වැසීයාමක් සිදුවේ. වස්ගමුව සෝමාවතිය වැනි ප්‍රදේශවල සිට මින්නේරිය වැව් ඉස්මත්තට පැමිණෙන අලින් මේ හේතුවෙන් මෙම ප්‍රදේශයට පැමිනෙන්නේ නැත.

අලි රංචුව දැකබලා ගැනීමට පැමිණෙන සංචාරකයින්ට පහසුකම් සැපයීම වෙනුවෙන් කාලය මිඩංගු කරන, සංචාරක මගපෙන්වන්නන් ලෙස රැකියාව කරන සෆාරි ජීප් රථ 985ක් පමණ සේවයේ යොදා තිබූ සංචාරක මගපෙන්වන්නන්ට අලුතින් ඇතිවූ මෙම තත්ත්වය විශාල ගැටලුවක් නිර්මාණය කර ඇත.

සෆාරි ජීප් රථ 450ක් පමණ මේ වනවිට විකුණා දමා ඇති අතර, සල්ලි ගහනේට අහිමි වූ බිම්කඩ වෙනුවට තැන් සොයා අලින් නිරන්තරයෙන්ම ගම් වදී. මෙම ස්වාභාවික තත්වය මේ වන විට සමාජමය ප්‍රශ්නයක් බවට පරිවර්තනය වී ඇත.

අලිගහනයට නිදහසේ සැරිසැරීමට තිබූ ස්ථානය අහිමි වී ඇත. සංචාරකයින්ට සිය ශ්‍රී ලංකා සංචාරයේ අපූරු, සුන්දර, විරල මතක සටහනක් ජාත්‍යන්තරය වෙත ගෙන යාමට තිබූ අවස්ථාව අහිමි වී ඇත. සංචාරක මඟ පෙන්වන්නන්ට සහ සෆාරි ජීප් රථ හිමිකරුවන්ට සිය රැකියාව කරගෙන යාමේ අවකාශය අහිමි වී ඇත.

Leave a Reply

Your email address will not be published.