මහ හිමට යන පාරේ වඳිමු ගෞතම සිරීපාදේ…

2021-2022 සිරිපා වන්දනා වාරය පසුගිය උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ වුණා. පවතින කොවිඩ් අවදානම හේතුවෙන් පසුගිය සිරිපා වාරයද අතරමගදී අවසන් කිරීමට සිදුවූ නිසා මෙවර සිරිපා වාරයේදී වැඩි දෙනෙක් සිරිපා කරුණාවට වැඩි උනන්දුවක් දක්වන බව පහුගිය දවස්වල දැකගන්න ලැබුණා. පවතින කොවිඩ් අවදානමත් සමඟ මෙවර සිරිපා වාරය ක්‍රියාත්මක වන්නේ සෞඛ්‍ය උපදෙස් නීති, කොන්දේසි රෙගුලාසිවලට යටත්වයි.

සිරිපා කරුණාව ගැන උනන්දුවක් දක්වන බොහෝ දෙනෙක් වෙනුවෙන් සිරිපා කරුණාවට ඇති ප්‍රධාන, ප්‍රසිද්ධ, පහසු සහ අප්‍රසිද්ධ වනගත මාර්ග සියල්ලම පිළිබඳව අවබෝධයක් ලබාගැනීම සඳහා මේ ලිපිය ගෙන එන්නට සිතුවා.

සිරිපා කරුණාවට ඇති ප්‍රධාන ප්‍රසිද්ධ මාර්ග.
සිරිපා කරුණාව සඳහා ඇති මෙම ප්‍රධාන මාර්ගවල වන්දකරුවන් සඳහා සිරිපා වාරයේ විදුලි ආලෝකය, මාර්ගයේ පහසුව, වාරයේ ඇති තාවකාලික වෙළෙඳසැල්, නවාතැන් සඳහා අම්බලන් මෙන්ම සනීපාරක්ෂක කටයුතු සඳහා පහසුකම් සියල්ල පවතී.

රත්නපුර – පලාබද්දල මාර්ගය.
සිරිපා කරුණාවට ඇති ප්‍රධානතම මාර්ගය විදියට තමයි රත්නපුර පලාබද්දල මාර්ගය හඳුන්වන්නේ. අතීතයේ රජතුමන් සිරිපා කරුණාව සඳහා භාවිතා කළ මාර්ගය විදියටත් මේ මාර්ගය සලකකනවා. රජ මාවත විදියට තමයි මේ මාර්ගය හඳුවන්නෙත්. ප්‍රධාන මාර්ගයක් වීම නිසාවෙන් සිරිපා වාරයේදි මේ මාර්ගයේ විදුලි ආලෝකය, වෙළෙඳසැල් මෙන්ම සනීපාරක්ෂක සහ අම්බලම් පහසුකම්වලින් යුක්ත වනවා.

රත්නපුර නගරයේ සිට පලාබද්දල – සිරිපාගම බස්රථවල පැමිණීමෙන් හෝ රත්නපුර සිට මල්වල ගිලීමලේ පසුකර පලාබද්දලට වාහනයකින් පැමිණීමෙන් මෙම මාර්ගයේ සිරිපා කරුණා කිරීමට පුළුවන්. මෙම මාර්ගය ආරම්භ වන තැන සිට උඩ මළුව දක්වා කිලෝමීටර් 8කට ආසන්න දුරකින් යුක්ත වනවා.

මෙම මාර්ගයේ හමුවන ප්‍රධාන මං සලකුණු ලෙස සිරිපාගම, පුරාණ විහාරය පලාබද්දල, පලාබද්දල පොලිස් මුරපොළ, පවනැල්ල, ළිහිණිහෙල, කොකටිය කන්ද, කටු කිතුල වංගුව, ගැටනෙතුල අම්බලම, කොඩිය කඩේ, කළු ගඟේ ආරම්භක ස්ථානය, දිය බෙත්ම, ගෙත්තම්පාන, ධර්මරාජ ගල, සීත ගඟුල, හැරමිටිපාන, ගල්වංගෙඩිය, මකර තොරණ විහාරය, මෑල්ල මළ කඳුර, ආඩියාමලතැන්න, ඇහැළ කණුව, මහගිරි දඹ, සුළං කපොල්ල, අහස් ගව්ව හැඳින්විය හැක.

මෙම මාර්ගයේ සීත ගඟුල යනු කුරු ගඟේ ඉහත්තාවයි. ගල්වංගෙඩිය ආසන්නයේදී මෙම රජ මාවතට කුරුවිට එරත්න මාර්ගයද එකතු වී උඩමළුව දක්වා ගමන් කරයි.

හැටන් – නල්ලතන්නිය මාර්ගය.
සිරිපා කරුණාවට ඇති ප්‍රධාන පොදු මාර්ගවලින් දුරින් අඩුම සහ පහසුකම්වලින් සපිරි පහසුම මාර්ගය විදියට තමයි හැටන් නල්ලතන්නිය මාර්ගය හඳුන්වන්නේ. දුම්රියෙන් හෝ බස් රථයෙන් හැටන් නගරයට පැමිණ නල්ලතන්නිය දක්වා ඇති බස් රථයක පැමිණි මෙම මාර්ගයට අවතීර්ණ විය හැක. මෙම මාර්ගයේ පඩිපෙල් සකසා ඇති අතර මළුව දක්වාම ඇත්තේ කිලෝමීටර් හයකට ආසන්න දුරකි.

මෙම මාර්ගයේ හමුවන මං සලකුණු ලෙස සීතගඟුල ගම, ඩෙල්හවුස් පාලම, සමන් දේවාලය, මකර තොරණ, ජපන් සාම චෛත්‍ය, ගඟුලතැන්න අම්බලම, සීත ගඟුල, රතු අම්බලම, ඉදිකටුපාන, ගෙත්තම්පාන, අහස් ගව්ව, මහගිරි දඹය, ඇහැළ කණුව, භගවා ලෙන හැඳින්විය හැක.

මෙම මාර්ගයේ ගෙත්තම්පාන ආසන්නයේ දකුණට ඇති අතුරු මාර්ගය රත්නපුර මාර්ගයේ ආඬියාමලතැන්නට යන හරස් අතුරු මාර්ගයකි.

කුරුවිට – එරත්න මාර්ගය.
කුරුවිට එරත්න මාර්ගය සිරිපා කරුණාවට ඇති පැරණිතම මාර්ගය විදියට බොහෝ ජනප්‍රවාදවල හඳුන්වනු ලබනවා. ඒ ආශ්‍රිතව ජීවත් වූ කොටා නම් පුද්ගලයෙක් ප්‍රථමයෙන් මේ මාර්ගයෙන් ගොස් සිරිපා මළුව සොයාගත් බව ජනප්‍රවාදවල පවතී.

කෙසේ වෙතත් වර්තමානයේ සිරිපා කරුණාවට ඇති ප්‍රධාන මාර්ගයක් විදියට මේ කුරුවිට එරත්න මාර්ගය හඳුන්වනු ලබනවා. සිරිපා වාරයේදී විදුලි ආලෝකය සහ අනෙකුත් පහසුකම් පැවතුණත් මෙය අනෙක් ප්‍රධාන මාර්ගවලට සාපේක්ෂව වනගත මෙන්ම සුන්දරම නමුත් දුෂ්කර මාර්ගයක් විදියට තමයි හඳුන්වන්නේ. මෙම මාර්ගයේ උඩමළුව දක්වා කිලෝමීටර් 12කට ආසන්න දුරකින් යුක්ත වනවා.

කොළඹ බදුල්ල 99 මාර්ගයේ කුරුවිට නගරයට පැමිණ එරත්න අඩවිකන්ද දක්වා පොදු ප්‍රවාහනයෙන් එනම් බස් රථයකින් හෝ පෞද්ගලික වාහනයකින් ගමන් කළ හැක.

මෙම මාර්ගයේ හමුවන ප්‍රධාන මං සලකුණු ලෙස එරත්න- අඩවිකන්ද, කැකුණහින්න, ජම්බෝල ගහ යට අම්බලම, ඩයමන්ගල අම්බලම, වර්ණගල අම්බලම, තුම්මෝදර අම්බලම, මැදහින්න අම්බලම, ඉඳිකටුපාන, හැරමිටිපාන, ගල්වංගෙඩිය, මකර තොරණ විහාරය, මෑල්ල මළ කඳුර, ආඬියාමලතැන්න, ඇහැළ කණුව, හුළං කපොල්ල, අහස් ගව්ව, මහගිරිදඹය හැඳින්විය හැක.
මෙම මාර්ගයේ පැරැණි ශ්‍රීපාද මාර්ගය සහ සහ නව මාර්ගය ලෙස දෙකක් ඇති අතර එම මාර්ග දෙක වර්ණගල අම්බලමට ආසන්නයේදි එකතු වේ. නව මාර්ගයේ කුඩා ජල විදුලි බලාගාරයක් පිහිටා ඇති අතර ඒ මඳක් ආසන්නයටම වාහනයකින් ගමන් කළ හැකි අතර එමගින් පයින් යා යාතු දුර මඳක් අඩුවේ. මෙම මාර්ගයේ හමුවන සීත ගඟුල කුරු ගඟේ ඉහත්තාවයි. මෙම මාර්ගයේ මැදහින්න අම්බලම පසු කර ටික දුරක් ගිය විට වම් පසින් දැරණියගල උඩමාලිබොඩ වනගත සිරිපා මාර්ගය කුරුවිට එරත්න මාර්ගයට එකතු වේ. ගල්වංගෙඩිය ආසන්නයේදි කුරුවිට එරත්න මඟ රත්නපුර රජමාවතට එකතු වී උඩමළුව දක්වා ගමන් කරයි.

සිරිපා කරුණාව ඇති ප්‍රධාන නොවන වනගත මාර්ග.
මෙම මාර්ගවල සිරිපා වාරයේදි අම්බලන් හෝ විදුලි ආලෝකය, වෙළෙඳසැල්, පහසුකම් කිසිවක් නොපවතී. එමෙන්ම මෙම මාර්ග සියල්ල කූඩැල්ලන්, වන සතුන් බහුල කඳු හෙල් ගංගා, ජල දහරා සහිත දුෂ්කර වනගත මාර්ග වේ.

දැරණියගල – උඩමාලිබොඩ වනගත මාර්ගය.
මෙම මාර්ගයේ දැරණියගල උඩමාලිබොඩ දක්වා වාහනයකින් පැමිණ එතැන් සිට සිරිපා ගමන ආරම්භ කළ යුතු වේ. පන්දෙණිය ඔය හරහා වනයට පිවිස මෙම ගමන ආරම්භ කළ යුතු වේ. මෙම මාර්ගය කඳු හෙල් මහ වනය මැදින් වැටී ඇති දුෂ්කර වනගත මාර්ගයක් වන අතර කූඩැල්ලන් බහුල මාර්ගයකි. මෙම මාර්ගයේ තාවකාලික වෙළෙඳසැල් හෝ අම්බලන් කිසිවක් නැත. වර්ෂා කාලයට නම් දිය පහරවල්වලින් බහුල මාර්ගයක් විදියට තමයි මෙම මාර්ගය හඳුන්වන්න පුළුවන්. දුෂ්කර වුවත් සුන්දර මාර්ගයක් විදියට මෙම මාර්ගය සලකන්න පුළුවන්. උඩ මළුව දක්වා මෙම මාර්ගයේ දුර කිලෝමීටර් 15කට පමණ ආසන්න වේ.

දෙහෙනකන්ද – මූක්කුවත්ත වනගත මාර්ගය.
රත්නපුර සිට මල්වල හංදියෙන් වේවැල්වත්ත පාරේ ගොස් ගලබඩ හංදියෙන් හපුගස්තැන්න වතුයාය ඔස්සේ ගමන් කර එතැන් සිට පා ගමනින් ගමන ආරම්භ කළ යුතු වේ. රත්නපුර සිට දෙහෙනකන්ද බලා ගමන් ගන්නා බස්රථවල හපුගස්තැන්න වතුයායට පිවිසිය හැක. හපුගස්තැන්න වතුයායෙන් රත් ගඟේ ඉහත්තාවෙන් එගොඩ වී වනයට පිවිස දුෂ්කර, කඳුහෙල්වලින් පිරි වනගත මාර්ගයක් ඔස්සේ ගමන් කළ යුතු වේ. මේ මාර්ගයේ ගමන් කරන විට අනෙකුත් කිසිදු මාර්ගයකදි දැක ගත හැකි නොවන කෝණයකින් සමනළ කන්ද දැකගත හැකිවේ. මෙම මාර්ගයේද අම්බලන් හෝ විදුලි ආලෝකය සහ වෙළෙඳසැල් කිසිවක් නොමැත. බත්තුලු ඔය තරණය කොට මෙම මාර්ගයේ ගමන් කළ යුතු වේ. බත්තුලු ඔයෙන් නිර්මාණය වන සුන්දර පැරඩයිස් ඇල්ලද මෙම මාර්ගයේ ගමන් කරන විට දැකගත හැකි වේ. මෙම මාර්ගය රත්නපුර රජමාවතට එකතු වන්නේ ඇහැළ කණුව ආසන්නයේදීයි. මෙම මාර්ගය රත්නපුර මාර්ගයට එකතු වන්නට පෙර අංශක 80කට ආසන්න අති දුෂ්කර නැග්මක් තරණය කළ යුතු වේ. සිරිපා කරුණාවට ඇති සියලු මාර්ග ගත් කල වැඩිම දුරක් සහ දුෂ්කරම මාර්ගය ලෙස මෙම දෙහෙනකන්ද මූක්කුවත්ත මාර්ගය සැලකේ.

මරේ වත්ත, රාජමලේ වත්ත හරහා සඳගලතැන්න මාර්ගය.
හැටන් ඉඳන් නල්ලතන්නියට යන මාර්ගයේම නල්ලතන්නියට කිලෝමීටර්යක් මෙහායින් තියන තුන්මං හංදියෙන් මරේ වත්තට යන මාර්ගයේ ගොස් රාජමලේ කියන දමිළ ගම්මානයෙන් තමයි මෙම සඳගලතැන්න සිරිපා මාර්ගය ආරම්භ වන්නේ. ප්‍රධාන නොවන වනගත මාර්ගයක් වුවත් මෙය සිරිපා කරුණාවට ඇති දුර අඩුම කෙටිම මාර්ගය විදියට හඳුන්වන්න පුළුවන්. නමුත් මෙම මාර්ගය ආරම්භ වන්නේ පෞද්ගලික වත්තක් හරහා වීම නිසා මෙම මාර්ගයේ සිරිපා කරුණාව බොහෝ කාලවල තහනම් වනවා. වනගත සුන්දර මාර්ගයක් වුවත් ඉතා කෙටි කාලයකදි මෙම මාර්ගයෙන් සිරිපා කරුණා කළ හැකි වනවා. මෙම මාර්ගය කිලෝමීටර් 4ක පමණ දුරකින් යුක්ත වන අතර හැටන් නල්ලතන්නිය මාර්ගයේ ඇහැළ කණුව ආසන්නයේදී මෙම මාර්ගය හැටන් මාර්ගයට එකතු වේ.

මෙම ප්‍රධාන සහ අප්‍රසිද්ධ වනගත මාර්ගවලට අමතරව පසු කලෙක සොයාගත් තවමත් අප්‍රසිද්ධ දුෂ්කර සුන්දර වනගත මාර්ග කීපයක්ම පවතී. බත්තුලු ඔය දිය ඇලි මාර්ගයද ඒ අතර වේ.
අවසානයේ ඔබ කුමන මාර්ගයෙන් සිරිපා කරුණා කළත් ඒ පූජනීය, සංවේදී පරිසරයට ඔබ අරන් යන කිසිම අපද්‍රව්‍යයක් එකතු කරන්න එපා. ඔබ රැගෙන යන පොලිතින්, ප්ලාස්ටික් නැවත රැගෙන එන්න. ඒවා උඩට අරන් යන්න පුළුවන් නම් නැවත රැගෙන එන්න බැරි කමක් නෑනෙ. ඒ වගේම තැන තැන කුරුටු ගාන්න එපා. සිරිපා කරුණාව කියන්නේ හුදෙක්ම පූජනීය ගමනක් මිසක් තවත් එක් හයික් එකක් වත්, ටි්‍රප් එකක්වත් නෙවෙයි. එයට සුදුසු ආකාරයෙන් ඔබේ හැසිරීම් පවත්වා ගන්න. අමතක කරන්න එපා මේ සේරම දේවල් එක්ක සෞඛ්‍ය උපදෙස්වලටත් මුල්තැන දෙන්න. හැමෝම පරිස්සමෙන් සිරිපා කරුණා කරන්න.

ශශින් විජේතුංග

Leave a Reply

Your email address will not be published.