පොලිස් පරීක්ෂක හැප්පු වෛද්‍යවරියට කෝටියක දඩයක්!

අපරික්ෂාකාරී ලෙස රිය පදවා මාර්ග අනතුරක් සිදුකර පොලිස් පරීක්ෂකවරයෙකුගේ මරණය සිදු කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් වරද පිළිගනු ලැබූ විශේෂඥ වෛද්‍යවරියකට අද කොළඹ මහාධිකරණය විසින් අදාළ වැරදි සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 110ක් වන්දි වශයෙන් ගෙවන ලෙස නියම කරනු ලැබුවා.

මෙම අනතුරෙන් මියගිය පොලිස් නිලධාරියාගේ පවුලේ ඥාතීන්ට රුපියල් ලක්ෂ 100 ක වන්දියක් ගෙවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් විත්තිකාර වෛද්‍යවරියට නියෝග කරනු ලැබුවා.

ඒ අනුව අදාළ වන්දිය මෙම සිද්ධියෙන් මියගිය පොලිස් දෙපාර්තමේන්තුවේ බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී පෙරේරා මහතාගේ පවුලේ ඥාතීන්ට ගෙවන ලෙසයි නියෝග කර සිටියේ.

එහිදී වැඩිදුරටත් විනිසුරුවරයා නියෝග කළේ මෙම අනතුර සිදුවූ අවස්ථාවේ දී විත්තිකාර වෛද්‍යවරියට සිය වාහනය පාලනය කරගෙන ගැනීමට නොහැකි වීම හේතුවෙන් සෙසු වාහන දෙකකට ද අලාභහානි සිදු වූ බවයි. ඒ අනුව එම වාහන වල හිමිකරුවන් දෙදෙනාටද රුපියල් ලක්ෂ 5 බැගින් වන්දි ගෙවන ලෙසත් විනිසුරුවරයා නියෝග කළා

මෙම අනතුරින් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අනතුරෙන් මියගිය පොලිස් පරීක්ෂකවරයා ජාත්‍යන්තර බොක්සිං තීරකයෙකු වශයෙන් කටයුතු කර ඇති බවත් මෙම අනතුර සිදු වූ අවස්ථාවේදී ඔහුගේ වාහනය තුළ සිය බිරිඳ හා දරුවන් දෙදෙනා ද සිට ඇති බව සඳහන් කළා.

මෙම අනතුරේදී ඔහුගේ වැඩිමහල් දරුවා තුවාල ලබා මේ වන විට ආබාධිත තත්ත්වයෙන් පසුවන බවත් ඔහු ශ්‍රී ලංකා ජාතික පිහිනුම් කණ්ඩායමේ සාමාජිකයෙකු ව සිටි බව ද කියා සිටියා.

මෙම අනතුර හේතුවෙන් ඔහු ආබාධිතයකු බවට පත්වීම නිසා ඔහුට පිහිනුම් තරග වලට සහභාගි වීමට නොහැකි තත්වයක් උද්ගතව තිබෙන බවත් නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නා.

මෙහිදී රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම විත්තිකාරිය සම්බන්ධයෙන් චෝදනා හයකින් සමන්විත සංශෝධිත අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන බවයි.

මෙම සංශෝධිත අධිචෝදනා පත්‍ර වලට විශේෂඥ වෛද්‍යවරිය වරද පිළිගැනීමෙන් අනතුරුව අධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

2018 වසරේ සැප්තැම්බර් මස 30 වනදා බොරලැස්ගමුව ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් වලක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම, පොලිස් පරීක්ෂකවරයකු ගේ මරණය සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ විශේෂඥ වෛද්‍ය කාවිංගා ගුණවර්ධන මහත්මියට එරෙහිව නීතිපතිවරයා මෙම අධි චෝදනා ඉදිරිපත් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published.