පුටින්ට ඇත්තටම පිළිකාවක්ද? කතාව අතේ රෝලක්ද?

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් පිළිකාවකින් සහ තවත් රෝග කිහිපයකින් පෙළෙන බවට පසුගියදා විදෙස් මාධ්‍යවල පළ වූ ප්‍රවෘත්තිය බොහෝදෙනාගේ අවධානය දිනාගත්තක් විය. මෙම පුවත් වාර්තාවලට අනුව පුටින් පිළිකා රෝගයෙන් මෙන්ම පාකින්සන් රෝගයෙන්ද, තවත් මානසික රෝගයකින්ද පීඩා විඳිමින් සිටියි. ඔහුගේ පිළිකාව ඇතැයි පැවැසෙන්නේ උදරයේය. රුසියානු ජනාධිපතිවරයා පිළිබඳ මෙම ආන්‍ෙදා්ලනාත්මක තොරතුරු අනාවරණය කරනු ලැබ ඇත්තේ කලක් එරට බුද්ධි සේවයකට සම්බන්ධව සිටි නිලධාරියකු විසින් බවක්ද පැවැසේ. ඔහු රුසියානු දේශපාලන ක්ෂේත්‍රයට අදාළ අභ්‍යන්තර තොරතුරු ගැන හොඳින් දන්නා කෙනකු බවක්ද සඳහන් වේ. කෙසේ වෙතත් මෙම නිලධාරියාගේ අනන්‍යතාව හෙළිදරව් කර තිබුණේ නැත.

මෙම තොරතුරුවලින් තවදුරටත් පැවැසෙන්නේ පුටින් සිය පිළිකා රෝගය සඳහා ළඟදීම සැත්කමකට මුහුණ දෙනු ඇති බවයි. නමුත් තවමත් ඒ සඳහා දිනයක් නියම කරගෙන නොමැති බවක්ද පැවැසේ. ජනාධිපතිවරයා සැත්කමට මුහුණදී නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වන තුරු ඔහුට ඉතාම විශ්වාසවන්ත නිලධාරියකු වන නිකෝලායි පැටෘෂෙව් වෙත බලය පවරනු ඇති බවක්ද ඉහත කී ආරංචි මාර්ග අනාවරණය කර ඇත. පැටෘෂෙව් යනු මේ වනවිට රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරයාය. ඔහු මේ දිනවල ඉදිරියට යමින් ඇති යුක්රේන යුද්ධයට අදාළවද විශාල කාර්යභාරයක් කරමින් සිටින නිලධාරියෙකි. පුටින් මෙන්ම පැටෘෂෙව්ද රුසියානු බුද්ධි සේවයට සම්බන්ධව සිටි පුද්ගලයන්ය.

ජනාධිපති පුටින්ගෙන් පසුගිය කාලයේ යම් යම් ශාරීරික වෙනස්කම් දක්නට ලැබුණු බවක්ද ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඔහුගේ මුහුණ  පුරවා දමා ඇති ආකාරයක් දිස්වන බවද පැවැසිණි. ඔහු භාවිත කරමින් සිටින ඔෟෂධවල බලපෑමෙන් එසේ වූවා විය හැකි යැයි ඇතැමුන් සැක පළ කර තිබේ. පුටින්ගේ අතක් වේගයෙන් වෙව්ලන්නාක් මෙන් පෙනෙන වීඩියෝවක්ද පසුගිය දිනවල මාධ්‍ය තුළ පළ වී තිබිණි. එමෙන්ම ඔහු ආරක්ෂක ඇමැති සර්ගෙයි ෂොයිගු සමඟ සාකච්ඡාවක් පවත්වද්දී මේසයේ කොනක් තදින් අල්ලාගෙන සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක්ද කතාබහට ලක්ව තිබෙනු දැකිය හැකිවිය.

ඉහත කී ආරංචි මාර්ග පවසන ආකාරයට පුටින්ගේ රෝගී තත්ත්වයන් ගැන මුලින්ම අනාවරණය වී ඇත්තේ වසර එකහමාරකට පමණ පෙරය. පිළිකාව සඳහා සැත්කම කරන්නට නියමිතව තිබී ඇත්තේ අප්‍රේල් මාසයේයි. නමුත් පුටින් එය ටික දවසකට කල් දමා ඇති බව සඳහන් වේ. මෙම සැත්කම ඉතා හදිසි සැත්කමක් නොවන බවක්ද, නමුත් එය වුවමනාවට වඩා කල් දැමීමටද නොහැකි බවක්ද කලින් සඳහන් කළ ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබිණි.

කෙසේ වෙතත් ඉහත කී තොරතුරුවල සත්‍යතාව ගැන මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නොමැත. පුටින්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වරින් වර මෙවැනි ආරංචි පැතිරෙන අතර රුසියානු බලධාරීහු ඒ සියල්ල ප්‍රතික්ෂේප කරති. රුසියානු ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයට හානි කිරීමේ වුවමනාව ඇති ඔහුගේ ප්‍රතිවාදීන්ද විශාල පිරිසක් සිටින බව අමතක කළ හැකි නොවේ. කෙසේ වෙතත්, ඔහු සත්‍ය වශයෙන්ම ඉහත කී ආකාරයේ බරපතළ රෝගාබාධවලින් පෙළෙන්නේ නම් එය දිගින් දිගටම වසන් කිරීමට නොහැකි වනු ඇති බවද අමුතුවෙන් කිව යුතු නැත.

මේ වනවිට 70 වැනි වියෙහි පසුවන පුටින් පිළිබඳ ඉහත කී ආකාරයේ ආරංචි පැතිරෙන්නේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ ආරම්භ වූ යුක්රේන යුද්ධය උණුසුම් ආකාරයෙන් ඉදිරියට යමින්  ඇති පසුබිමක බවද අමතක කළ හැකි නොවේ.  පුටින්ගේ යුදවාදී ක්‍රියාකලාපය යුක්රේනයට  මෙන්ම ඔවුන්ට සහාය දක්වන බටහිර බලවතුන්ටද දැඩි හිසරදයක් බවට පත්ව ඇති අතර ඔහුට එරෙහිව ඔවුන්ගේ දැඩි  විරෝධය එල්ල වී තිබේ. රුසියාවේ විවිධ පාර්ශ්වවලට එරෙහිව  මෙම බටහිර රටවල් දැඩි සම්බාධකද ක්‍රියාත්මක කරමින් සිටියි. මේ අතර යුක්රේනයේ නැඟෙනහිර කලාපයේ ඇතැම් ප්‍රදේශ රුසියාවට අෑඳා ගැනීමට පුටින් පියවර ගනු ඇති බවටද පසුගිය දිනවල අදහස් පළ වී තිබිණි. මෙයට වසර කිහිපයකට පෙර, එනම් 2014 වසරේ එවකට යුක්රේනය සතුව පැවැති ක්‍රිමියාවද තම රටට අෑඳා ගැනීමට රුසියාව කටයුතු කළේය.

මෙම යුද්ධය මේ වනවිට යුක්රේනයට සහ රුසියාවට පමණක් නොව මුළු ලෝකයටම බලපෑම් එල්ල කරමින් තිබේ. විශේෂයෙන්, ලෝකයේ බොහෝ රටවල ඉන්ධන මිල ගණන් ඉහළ යෑමටද, ආහාර සැපයුම් අඩාල කිරීමටද මෙය හේතු වී ඇත. රුසියාව සහ යුක්රේනය ඉන්ධන සහ ආහාර අපනයනය අතින් ලොව ඉදිරියෙන්ම සිටින දෙරටකි.

ජනාධිපති පුටින්ගේ සෞඛ්‍යය ගැන කලින් සඳහන් කළ ආකාරයේ ආරංචි පැතිරෙන්නේ යුක්රේන යුද්ධය පසුබිම් කරගෙන ලොව බොහෝදෙනාගේ අප්‍රසාදය ඔහු වෙත එල්ල වෙමින් ඇති තත්ත්වයක් තුළය.

සනත් වික්‍රමගේ

Leave a Reply

Your email address will not be published.