පැජට් පාරේ ගෙදරින් මෛත්‍රිට යන්න වෙයි!

පාර්ලිමේන්තු මන්ත්‍රි මෛත්‍රිපාල සිරිසේන මහතා එවකට ජනාධිපතිවරයා ලෙස අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියාව සිටිමින් තම පෞද්ගලික වාසිය අරමුණු කොටගෙන තමාට නිල නිවෙස වශයෙන් භාරදී තිබූ කොළඹ – 07, පැජට් පාරේ පිහිටි නිවෙස සහ තවත් නිවාස ගොඩනැඟිලි හා ඉඩමද තනතුරින් ඉවත්ව යෑමෙන් පසුවද තමාටම හිමිකර ගැනීම සඳහා තමාගේම ප්‍රධානත්වයෙන් වූ කැබිනට් මණ්ඩල රැස්වීමකදී අනුමත කොට ගනු ලැබ ඇති “අමාත්‍ය මණ්ඩල තීරණය” ක්‍රියාත්මක වීම අත්හිටුවමින් ශේ්‍රෂ්ඨාධිකරණය ඊයේ (29දා) අතුරු තහනම් ආඥාවක් නිකුත් කළේය.

පී්‍රති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ හා මහින්ද සමයවර්ධන යන ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය එම අතුරු ආඥාව නිකුත් කරන ලද්දේ එම කරුණ සම්බන්ධයෙන් ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විමසුමට ලක් කරමිනි.

එම අයිතිවාසිකම් පෙත්සම යොමු කරමින් එකී ‘කැබිනට් තීරණය’ බල රහිත කරන ලෙසට ඉල්ලා පෙත්සම ගොනු කරන ලද්දේ ‘විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය’ හා එහි අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසිනි.

මෙම අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගෙන අවසන් කොට එහි තීන්දුව ප්‍රකාශයට පත් කරන තෙක්ම ක්‍රියාත්මක වන පරිදි ඉහත කී අතුරු ආඥාව පනවනු ලැබීය.

නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා පෙත්සම් පාර්ශ්වය වෙනුවෙන් කරුණු දක්වමින් කියා සිටියේ තමාගේම ප්‍රධානත්වයෙන් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී තම වාසියට අදාළ වන මෙම තීන්දුව ලබාගෙන ඇත්තේ 2019 ඔක්තෝබර් මස 15 වැනි දින තම බලය ගිලිහෙමින් තිබූ මොහොතකදී බවත් එය ජනාධිපති වරප්‍රසාද පනත මෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද පටහැනිව තම බලය අයුතු ලෙස භාවිත කිරීමක් බවත්ය.

තවද මෙම නිවෙස තමාට හිමිකර ගැනීම සඳහා කටයුතු කර ගැනීමට පමණක් නොව එම නිවාස දේපොළ සංවර්ධනය කර ගැනීම සඳහා රජයේ මහජන මුදල් රුපියල් කෝටි 18ක් (රුපියල් මිලියන 180ක්) වැය කිරීමද බරපතළ විෂමාචාරයක් බවද නීතිඥ ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.

මෙම ක්‍රියාපටිපාටිය මඟින් වගඋත්තරකාර හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තියෙන් රටේ සමස්ත පුරවැසියන් හට සහතික කොට ඇති ‘සමාන ලෙස සැලකිලි ලැබීමේ’ මූලික අයිතිවාසිකම උල්ලංඝනය කොට ඇති බවට ප්‍රකාශ කරන ලෙසද ඔහු විනිශ්චය මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය.අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

පෙත්සම යළි මැයි මස 18 වැනි දින කැඳවීමට දින නියම විය.

Leave a Reply

Your email address will not be published.