පාසල් ක්‍රිකට් උඩුයටිකුරු වෙන තීරණයක් ?

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වයස් කාණ්ඩ සඳහා සුදුසුකම් ලැබීමේ “කට්ඕෆ් ඩේට්” පිළිබඳව වෙනසක් සිදුකිරීමට පාසල් ක්‍රිකට් සංගමයේ විධායක කමිටුව තීරණය කර තිබේ.

නමුත් එම තීරණය අවසන් තීරණයක් නොවන බව එම සංගමය පැවසීය.

කෙසේ වෙතත් එවැනි තීරණයක් ක්‍රියාත්මක කළහොත් ඒ හරහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන පාසල් ක්‍රීඩකයින් ව අපේක්ෂා භංගත්වයට පත්වීමට ඉඩ ඇතිබවට චෝදනා රැසක් එල්ලවෙමින් ඇති බව සඳහන් විය.

කෙසේ වෙතත් පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති කොළඹ නාලන්ද විද්‍යාලයේ විදුහල්පති තිලක් වාත්තුහේවා මහතා අද දෙරණ කළ විමසීමකදී ප්‍රකාශ කළේ පවතින ක්‍රමවේදය හරහා අවුරුදු 15න් පහළ සහ අවුරුදු 17න් පහළ දිස්ත්‍රික්, පළාත් සහ ජාතික වශයෙන් කණ්ඩායම් නියෝජනය කිරීමේ හැකියා සහිත දරුවන් විශාල ප්‍රමාණයකට අසාධාරණයක් සිදුවන බවය. 

කෙසේ වෙතත් අදාළ තීරණය වෙනස් කරන්නැයි පාසල්වලින් විවිධ ඉල්ලීම් රැසක් ඉදිරිපත් වී ඇති බවත් ඒ අනුව ඉදිරියේ රැස්වන පාසල් ක්‍රිකට් සංගමයේ විධායක කමිටු රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව ද පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති කොළඹ නාලන්ද විද්‍යාලයේ විදුහල්පති තිලක් වාත්තුහේවා මහතා පැවසීය.

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මෙරට පාසල් ක්‍රීඩා සඳහා එල්ල වූයේ දැඩි බලපෑමකි.

ඒ හේතුවෙන් විශේෂයෙන්ම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ගිලිහුණු කාලය වෙනුවෙන් යම් සාධාරණයක් සිදුකරන ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වරක් පැවසීය.

නමුත් පාසල් ක්‍රිකට් බලධාරීන් ඊට හාත්පසින්ම වෙනස් නමුත් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් කනගාටුවට පත්වන තීරණයක් ගෙන ඇති බව පාසල් ක්‍රිකට් පුහුණුකරුවෝ චෝදනා කරති.

“පාසල් වයස් සීමා තියෙන්නේ අවුරුදු 13න් පහළ, 15න් පහළ, 17න් පහළ, සහ 19න් පහළ ලෙස. දැන් තියෙන කට්ඕෆ් ඩේට් එක ජනවාරි 01 වනදා. නමුත් දැන් ඒක සැප්තැම්බර් 01 වනදා දක්වා වෙනස් කරලා. ඒ කියන්නේ එමගින් පාසල් ක්‍රිකට් වලට ලොකු බලපෑමක් ඇතිවෙනවා.”    

මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නම සඳහන් කිරීමට අකමැති වූ පාසල් ක්‍රිකට් පුහුණුකරුවෙක් පැවසීය.

“ශ්‍රී ලංකාවේ බොහෝ පාසල් එලඹෙන අවුරුදු 15න් පහළ සහ 17න් පහළ තරගාවලි සඳහා කණ්ඩායම් සූදානම් කරලා තියෙන්නේ. නමුත් ඊයේ හවස අපිට ආරංචි වුණා ළමයින්ගේ වයස කාණ්ඩවල කට් ඔෆ් ඩේට් වෙනස් කරලා කියලා. ඒ කියන්නේ 15න් පහළ ගහන්න සූදානම් වෙලා හිටිය ළමයින් ට ගහන්න හම්බවෙන්නේ නෑ. ඒගොල්ලන්ව 17 කණ්ඩායමට දාන්න වෙනවා. නමුත් එක කණ්ඩායමක ගහන්න පුළුවන් 11යි නේ. එතකොට A, B කියලා ටීම් දෙකක් දැම්මත් ළමයි විශාල ගණනකට බෙන්ච් එකේ ඉන්න වෙන්නේ.”

“එහෙම වුණොත් ළමයි ඉස්කෝලේ ක්‍රිකට් වලින් ඈත්වෙයි. අපේ එක ඒජ් ග්රූප් එකක ළමයි 30ක් 35ක් විතර ඉන්නවා. ස්කූල් ක්‍රිකට් වලට වියදම් කරන්නේ දෙමව්පියෝ. ඉතින් තීරණ ගන්න කොට කාගේත් අදහස් ගැනීම වැදහත්.”

මෙම කරුණ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පියෙක් පැවසුවේ මෙවන් දෙයකි. “මම ඊයේ හවස පුතාව ක්‍රිකට් ප්‍රැක්ටිස් වලින් ගන්න ගියා. ළමයින්ගේ මූඩ් වෙනස්. වැඩි කතාවක් නෑ. ඒ ගැන දැනගත්තම මටත් කනගාටුවක් ආවා. අපි ළමයි ක්‍රිකට් ගස්සන්න ලොකු කැපකිරීමක් කරනවා. ලොකු වියදමක් දරනවා. අපේ පාසල් ක්‍රිකට් ගැන තීරණ ගන්නේ කවුද කියලා අපිට දැන් සැකයක් තියෙනවා. මේ වැඩේ කළොත් දෙමව්පියෝ ළමයිව ක්‍රිකට් ගහන්න යොමු නොකර ඉඳියි. එතකොට අපේ රටේ ක්‍රිකට් ඉබේම වැටෙයි. කවුද ඒකට වගකියන්නේ.”

නමුත් වාත්තුහේවා මහතා පැවසුවේ ඔවුන්ගේ අරමුණ ලෝක කුසලාන ඉලක්ක කර දක්ෂ නියම වයසේ කණ්ඩායම් සාදා ගැනීම බවය. 

“මෙමගින් අපි හදන්නේ නියම වයසේ ළමයින්ට සාධාරණය කරන්න.”

නමුත් මෙවැනි තීරණ ක්‍රියාත්මක කිරීමට පෙර අදාළ පාර්ශව අතර නිවැරදි අදහස් හුවමාරුවක් ඇතිවීම වඩාත් යෝග්‍ය බව අපගේ අදහසයි.

Leave a Reply

Your email address will not be published.