තෙල් මිල සූත්‍රයට ඇමති එකඟ වෙයි!

ඉන්දියන් ඔයිල් සමාගමට සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඒකාබද්ධ මිල සූත්‍රයක් හඳුන්වා දීම සදහා කටයුතු කිරීමට විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (අප්‍රේල් 28) පාර්ලිමේන්තු කාරක සභාවේදී එකඟ වී තිබේ.

එසේ ම, රටේ පවතින බලශක්ති අර්බුදය සඳහා බලපා ඇති හේතූ සහ පැවැති කළමනාකරණ දුර්වලතා පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබා දෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

විදුලිබල ජනනය සඳහා අවශ්‍ය ගල් අඟුරු නැවක් සඳහා ඊයේ මුදල් ගෙවීම් සිදුකළ බව ත් ඒ අනුව ලබන සැප්තැම්බර් දක්වා අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණවත් බව ත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මේ වනවිට රටේ පවතින බලශක්ති, විදුලිය සහ ගෑස් සැපයුම පිළිබඳව පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, වෙළෙඳ සහ සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ශෙහාන් සේමසිංහ යන මහත්වරු, එම අමාත්‍යංශ ලේකම්වරු ඇතුළු නිලධාරීහු ඊයේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට සහභාගි වූහ.

පවතින අර්බුදකාරී තත්ත්වය විසඳා ගැනීම පිළිබඳව පක්ෂ නායකයන් ඇතුළු කාරක සභා සාමාජිකයෝ මෙහිදී අදාළ අමාත්‍යවරු සහ නිලධාරීන් සමග සාකච්ඡා කළහ.

මෙම අමාත්‍යංශවලට නව ලේකම්වරු දෙදෙනෙක් පත්කර ඇති බවත් පවතින තත්ත්වය කළමනාකරණය කොට ඉදිරි දින කිහිපය තුළ පවතින අර්බුදය ජය ගැනීමට නිලධාරීන් සමග හැකි උපරිමයෙන් කටයුතු කරන බව ත් අමාත්‍යවරයා පක්ෂ නායකයන් ඇතුළු කාරක සභාවේ සාමාජිකයන්ට පවසා සිටියේ ය.

මෙහිදී ඛනිජ තෙල් සැපයුම අඛණ්ඩව සිදු කිරීම සඳහා මුතුරාජවෙල පර්යන්තය පැය විසි හතර ම සේවය කරන බවත් අදාළ නිලධාරීන් ප්‍රමුඛ සේවක මඬුල්ල හැකි උපරිම කැප කිරීමකින් සේවය කරන බවත් කංචන විජේසේකර අමාත්‍යවරයා පැවසීය. විදුලිබල ජනනය සදහා අවශ්‍ය ඉන්ධනවලට ප්‍රමුඛත්වයක් ලබා දෙන බව ත් ගුවන් සේවා සහ විදුලිබල මණ්ඩලයට ඍජුව ම ඉන්ධන මිලදී ගැනීම සඳහා අවශ්‍ය පනත් සංශෝධනය කිරීමට ඉදිරි කාලය තුළ කටයුතු කරන බව ත් ඒ සඳහා පක්ෂ නායකයන් ඇතුළු පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ ම සහාය අපේක්ෂා කරන්නේ යැයි අමාත්‍යවරයා පැවසීය.

පුනර්ජනනීය බලශක්තිය මෙරට විදුලිබල පද්ධතියට යොදා ගැනීමට එරෙහිව පවතින බාධක පිළිබඳවද කාරක සභා මන්ත්‍රිවරුන්ගේ විශේෂ අවධානය යොමුවිය. මේ අනුව සර්ව පාක්ෂික කමිටුවක් ස්ථාපනය කොට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් පුළුල් කළ යුතු බව කාරක සභා සාමාජිකයෝ පෙන්වා දුන්හ. ඒ සඳහා අවශ්‍ය පනත් සංශෝධනය කිරීමට ඉදිරි කාලය තුළ අපේක්ෂා කරන බවත් එම සංශෝධන හරහා පුනර්ජනනීය බලශක්තිය මෙරට විදුලිබල පද්ධතියට වැඩි වශයෙන් එක් කර ගැනීමට හැකිවනු ඇති බව ත් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා මෙහිදී පැවසීය.

අනුරාධා හේරත්, සඳුනි ගමාරච්චි

Leave a Reply

Your email address will not be published.