තෙල් පෝලිම් ඉවර නොවෙන හේතුව හෙළිවෙයි!

පවතින හිඟය හේතුවෙන් ඇතැම් පුද්ගලයින් සංවිධානාත්මක ලෙස ඉන්ධන එක්රැස් කිරීම ඉන්ධන ඉල්ලුම ඉහළ යාමට බලපා ඇති බව ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළ පරිදි එම පිරිස් සිය රථ වාහනවලට ඉන්ධන ලබාගැනීමෙන් අනතුරුව ඒවා වෙනත් ස්ථානවලදී ඉවත් කර නැවත පැමිණ පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගන්නා බවට අනාවරණය වී ඇති බව නෙත් නිවුස් වාර්තා කරනවා.

සාමාන්‍යයෙන් ඩීසල් සඳහා දෛනික අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 5,000 ත් 5,500 ත් අතර පවතිනවා. එහෙත් මේ වන විට දිනකට ඩීසල් ඉල්ලුම මෙට්ට්‍රික් ටොන් 9,000 ත් 10,000 ත් දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔහු සඳහන් කළේ. පෙට්ට්‍රල් සඳහා දෛනික ඉල්ලුම මෙට්ට්‍රික් ටොන් 4,000 ත් 4,200 ත් අතර පවතිනවා. එහෙත් ඉල්ලුම ඉහළ යාම හමුවේ මෙට්ට්‍රික් ටොන් 5,500 ක් ඊයේ දිනයේ ලබාදුන් බවද ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ උසස් නිලධාරියා පැවසුවා.

මේ අතර බලපත්‍ර නොමැතිව ඉන්ධන අලෙවි කරන පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර ඉන්ධන පිරවුම්හල් අසල අද අලුයම් කාලයේ ද දිගු පෝළිම් දක්නට ලැබුණා. ඇතැම් ඉන්ධන පිරවුම්හල් වසා දමා තිබුණද ඉන්ධන ලබා ගැනීමේ අරමුණින් තවදුරටත් ජනතාව පෝළිම්වල රැදී සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

Leave a Reply

Your email address will not be published.