තෙල් නැව් 8ක් වටින ඔරලෝසු 6ක් බඳින ලංකාවේ ඉන්න රජ පුතා කවුද?

අලුත් පරම්පරාවේ ව්‍යවසායෙකු වන සිඩ්නි, එක ඔරලෝසු බෙල්ට් එකකින් රුපියල් එක් ලක්ෂ විසිදාහකට වඩා උපයන අපේ කාලයේ අපූරු තරුණයෙකි.

එහෙ ත් අදවන විට රටේ ඇති වී තිබෙන ඩොලර් හිඟය හා ඊට සාපේක්ෂව ඉහළ නැංවූ බදු කොල්ලයත් සමග සිඩ්නි ඇතුළු ව්‍යාපාරික ප්‍රජාව ම මුහුණ දී සිටින්නේ අර්බුද රැසකට ය.

“මේ ගැටලුව අපි බොහෝ කාලෙක සිට දුටුවා. ඒ නිසා ම තමයි අපිත් තරුණයෝ හැටියට ගෝඨාගෝගම අරගල භූමියට ගිහින් පෙරමුණේ සිට ගත්තේ.”

ඒත් අපේ ඉල්ලීම්වලට කිසි ම යහපත් ප්‍රතිචාරයක් බලධාරීන්ගෙන් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ සාමකාමී අරගලය ඔවුන් තුට්ටුවකටවත් මායිම් කරන්නේ නැහැ,” සිඩ්නි කලකිරීමෙන් යුතුව කීවේ ය.

සිඩ්නි වසර තුනහමාරකට පෙර ඇරැඹූ නව ව්‍යාපාරයෙන් වෙළෙඳපොළට නිකුත් කෙරුණේ ඉහළ ප්‍රමිතියෙන් යුතු වොච් බෙල්ට් හෙවත් ඔරලෝසු පටිත් පොකැට්ටුත්ය. ලෝකයේ විවිධ රටවලින් ඇණවුම් කොට ගෙන්වා ගත් ඉහළම ප්‍රමිතියකින් යුත් ලෙදර් වර්ග මේ සඳහා ඔහු භාවිත කළේ අපේ රටේ නිෂ්පාදනවලට විදෙස් වෙළෙඳපොළත් සම්බන්ධ කර ගැනීමේ අදහසිනි.

“මම ඔරලෝසු බෙල්ට් සහ මුදල් පසුම්බි හැදුවේ ඇණවුම්වලට විතරයි. අපේ රටට ආපු විදේශිකයන් විශාල ප්‍රමාණයකට මම මේ නිෂ්පාදන අලෙවි කළා. මොක ද මම ප්‍රංශයෙන්, ඉතාලියෙන්, ජර්මනියෙන් ගෙන්වන මිල අධික ලෙදර්වලින් තමයි මේ භාණ්ඩ හැදුවේ. තවමත් හදන්නේ.”

කිඹුල්, පැස්බර, ගව මෙන්ම සර්ප සම් යොදා ගනිමින් නිෂ්පාදනය කර ඇති මේ ලෙදර් පොකැට්ටුවලට හා ඔරලෝසු පටිවලට ඉතා හොඳ ඉල්ලුමක් ලැබී තිබුණේ එහි මැස්ම ගැන පවා ඔහු දැක්වූ උනන්දුව නිසාම ය.

“මම මගේ ගෝලයන්ට පවා කියා තිබෙන්නේ නූලක්වත් ඇද කරන්න එපා කියලා. කොලිටි එක අපි ආරක්ෂා කර ගන්න ඕන බව තමයි මම ඔවුන්ට නිතර මතක් කරන්නේ.

ඇත්තටම ඒ නිසාම තමයි අපේ රටේ ඉහළ ම පෙළැන්තියේ ඉන්න අය පවා මාව සොයාගෙන ඇවිත් ඔවුන්ට අවශ්‍ය දේ ඇණවුම් කරන්නේ.

ඔවුන් පාවිච්චි කරන පොකැට්ටුවක් පනස්දාහේ සිට ඉහළට තිබෙනවා. ඔරලෝසු පටි ලක්ෂ එකයි පනහක් වගේ ගාණක් වෙනවා.”

මුලදී ආතක් පාතක් නැතිව අයාලේ ජීවිතය ගත කළ සිඩ්නි, පසු කලෙකදී විවිධ සංවිධාන සමග රුක් රෝපණ ව්‍යාපෘති හා වෙරළ පිරිසුදු කිරීමේ කාර්යන්වලට සම්බන්ධ වී ස්වේච්ඡාවෙන් වැඩ කළේ ය.

“මේ කාලයේදී මට ඩෙංගු හැදුණා. එහෙම හැදිලා එක්තැන් වී ඉන්න කොට මම ඉන්ටර්නෙට්හි වැඩිපුර රැඳුණා. එතැනදී තමයි මට මේ ලෙදර් වොච් බෙල්ට්, වොලට් ගැන හිත ගියේ. ඇත්තම කිව්වොත් එයින් පසුව මම ඉන්ටර්නෙට්වලින් ම මේ සම්බන්ධව ඉගෙන ගත්තා. බොහෝ දේ දැන ගත්තා.”

සිඩ්නි මේ කියන්නේ අලුත් තරුණ පරපුර ලෝකයේ නව ව්‍යාපාර ගැන දැනගන්නා ආකාරයයි. එහෙත් මේ දැනුම හා අවබෝධය මෙන් ම වෙළෙඳ ගනුදෙනුවල සක්‍රියත්වය පිළිබඳ අවබෝධයත් රට කරවන බොහෝ ඇත්තන්ට තිබේ ද? ඔවුන් තීන්දු තීරණ ගන්නේත් යැපෙන්නේත් පැරණි සාම්ප්‍රදායික මංපෙත්වල ම නොවේ ද?

“ඔවුන් සහ අපි අතර ගැටුම හටගන්නේ එතැනිනුයි. අපි ඉන්ටර්නෙට් එක්ක අලුත් දේ අලුත් විධියට කරන්න දන්නවා වුණත් ඔවුන් ඒවා ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. ඉතින් කොහොම ද තරුණ අපි ව්‍යාපාර කරන්නේ…? යල් පැනගිය වැඩකට නැති තීන්දු තීරණවල හිරවී ඉන්න ඔවුන් එක්ක රටකට ඉදිරියට යන්න බැහැ. ගෝඨාගෝගම අරගල භූමියේ ඉන්න තරුණ පරම්පරාව ඉල්ලන්නේ මෙන්න මේ දේයි.”

අපේ රට පාලනය කරන බොහෝ ඇත්තන්ට අලුත් තාක්ෂණික ලෝකය ගැන දැනුමක් අවබෝධයක් නැත. ඒ ගැන ඔවුන්ට වගේ වගක් නැත. ඒ ඇත්තන් පමණක් නොව ඇතැම් ඉහළ නිලධාරීන් පවා සිටින්නේ ඒ තාක්ෂණික ලෝකයට වඩා ගව්ගාණක් පසුපසිනි.

“අලුත් පරම්පරාවට බොරු කරන්න බැහැ. අපේ පරම්පරාව දන්නවා ඕනෑම දෙයක් ක්‍ෂණිකව සොයා ගන්න. දැන් මම ඔබට එක කාරණයක් මතක් කරන්නම්.

අපේ රටේ එක රජ පවුලක පුතෙක් ඉන්නවා. එයා පාව්චිචි කරන අත්ඔරලෝසු හය හතක වටිනාකම ගැන අපි දන්නවා. ඔරලෝසු ටික වික්කොත් තෙල් නැව් 8ක් විතර අපිට මිලදී ගන්න පුළුවන්.

මේ මම කතා කළේ එක පුතෙක් ගැන විතරයි. තවත් අය ළඟ ත් මේ වගේ ඔරලෝසු තිබෙනවා. ඒවා ඒ අය ගත්තේ කොහොම ද කියන ගැටලුව අපි හැමෝට ම තිබෙනවා.”

සාමාන්‍යයෙන් ලෝකයේ මිල අධිකම ඔරලෝසු සහ බෙල්ට් මෙන් ම හෑන්ඩ් බෑග් සහ පොකැට්ටු ලංකාවේදී මිල දී ගැනීමට තරම් වෙළෙඳපොළක් නැත. ඇත්තේ ඇණවුම් කොට ගෙන්වා ගැනීම හෝ විදෙස් රටකදී මිල දී ගැනීමේ හැකියාව ය.

මේ මිල අධික ඔරලෝසු (උදාහරණ ලෙස Patek Philippe සහ Rolex) පාවිච්චි කරන්නේ සුපිරි ව්‍යාපාරික හා දේශපාලන පවුල්වලට සම්බන්ධ දූ දරුවන් ය. එසේත් නැති නම් ඒ දේශපාලනඥයන් ය.

“ලංකාවේ අඹේවෙල වගේ සමාගම්වලින් ලබා ගන්නා ලෙදර්වලින් අපි හදන්නේ රුපියල් 7,000ක වගේ ඔරලෝසු බෙල්ට් එකක්. ඒක තමයි මිල අධික ම.

නමුත් ප්‍රංශයෙන්, ඉතාලියෙන්, ජර්මනියෙන් ගෙන්වා ගන්නා ලෙදර් තමයි මිල අධික.

ඊළඟට ඔරලෝසු. මේවා ඩොලර් ලක්ෂ තුන හතරේ සිට පහ හමාර වෙනකම් විකිණෙනවා. ලංකාවේ දැන් තිබෙන ඩොලරයේ ඉහළ අගයත් එක්ක ඊට වඩා දැන් මිල වැඩියි. මම අර කලින් කිව්ව ප්‍රභූ පුතා ළඟ තිබෙන ඔරලෝසුවල වටිනාකම මා දැනුවත්ව ඩොලර් මිලියන 6ක් – 7ක් වගේ වෙනවා. මේවා බොරු නෙවෙයි. අන්තර්ජාලයට ගිහින් පරීක්ෂා කොට බැලුවොත් ඉහළ ම ඔරලෝසුවේ මිල කොහොම ද කියලා බලන්න පුළුවන්.

ඇත්ත ම කිව්වොත් අපේ රටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික මහත්තුරුන්ගේ නෝනලා පවා පාවිච්චි කරන්නේ මිල අධික ඔරලෝසු හා හෑන්ඩ් බෑග්.

දැන් ඔය මිල අධික වොලට් එකක මිල ඩොලර් 1,500ක් පමණ වෙනවා. (Hernes වර්ගයේ) ඒ අඩු ම එක. ඊට වඩා තව මිල වැඩි ඒවා තිබෙනවා.

මේවා අපේ රටේ ප්‍රභූ පන්තිය මිලදී ගන්නවා. ව්‍යාපාරිකයෝ මිලදී ගන්නවා.

මම දන්නවා ලක්ෂ 5 – 6 පොකැට්ටු මිල දී ගන්න මහත්තුරු. ඒ වගේ ම මිලියන 3-4 දීලා හෑන්ඩ් බෑග් ගන්න නෝනලා. ඩොලර් 14,000 – 15,000 ඉඳල පටන් ගන්න හෑන්ඩ් බෑග් පවා අද ලෝක වෙළෙඳපොළේ තිබෙනවා. මේවා පාවිච්චි කරන අයත් ලංකාවේ ඉන්නවා.

ඇයි අපිට මේ මාර්කට් එක අල්ලන්න බැරි? ඇයි අපිට ලෝකය එක්ක මේ වෙළෙඳ ගනුදෙනු කරන්න බැරි?

ලොකුකමට කියනවා නෙවෙයි. දැනට මම තමයි මිලෙන් වැඩි ම ඔරලෝසු පටියි. පොකැට්ටුවයි ලෙදර්වලින් හදන්නේ. මම ලෝකයේ දියුණු ම රටවලින් තමයි ලෙදර් ගෙන්වන්නේ.

ඇත්තම කිව්වොත් මේ ව්‍යාපාරය දියුණු කළොත් අපේ රටට ඩොලර් ගෙන්වන්න පුළුවන්. මොකද අපි කණ්ඩායමක්ම අද මේ ව්‍යාපාරය කරනවා. ඉහළ ම උපාංග පාව්චිචි කරමින් ඉහළ ම ප්‍රමිතියෙන් කරන මේ ව්‍යාපාරය දැන් කරගන්න බැරි විධියට ඇවිත් තිබෙන්නේ රජය විටින් විට ගන්නා අදූරදර්ශී ක්‍රියාමාර්ග නිසයි. ඉතින් කොහොම ද තරුණ අපි අලුත් විධියට හිතලා අලුත් ලෝකය එක්ක තරග කරන්නේ? ඒකට අපේ වගකිව යුතු අයගෙන් සහයෝගයක් නැහැ.”

මෑතක සිට අපේ රටේ රජ වී සිටින්නේ පල් හොරුන් ය. හොරකමට සහයෝගය ලබා දෙන නිලධාරීන් ය. මේ ක්‍රමය වෙනසක් සැබෑවට ම ඇති විය යුතුය. එසේ නොවුණහොත් හෙට උපදින දරුවන්ට ඉතිරිවන රටක් නැත. ඒවා සියල්ල ම විදෙස් ජාතිකයන්ට අයත් විජාතික සම්පත් බවට පත්වීම නිසැක ය.

එසේ නම් සිඩ්නි ෆරීඩ්ලා පමණක් නොව රට ගැන හිතන සියලු පාර්ශ්ව රැක ගත යුතු සිස්ටම් චේන්ජ් එකක් දැන් අවශ්‍යම ය.

  • ඡායා – මංජුල දයාවංශ

Leave a Reply

Your email address will not be published.