ජනපති මිත්‍ර රාජ්‍යන්ගෙන් කළ සුවිශේෂී ඉල්ලීම!

නව අග්‍රාමාත්‍යවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් ශ්‍රී ලංකාව මේ වන විට පත්කරගෙන සිටින අතර, ඉදිරි ගමන පිළිබඳව ජාතික සම්මුතියක් ඇති කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

“ආසියාවේ අනාගතය පිළිබඳ 27 වන ජාත්‍යන්තර සමුළුව” (Nikkei) සමුළුව වීඩියෝ තාක්ෂනය ඔස්සේ අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සහාය සොයා බලන ලෙස සමුළුවට එක්ව සිටින සියලු මිත්‍ර රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බවත් වර්තමාන ජාතික අර්බුදයට විසඳුම් එම ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන්ම ක්‍රියාත්මක වීම ඉතා වැදගත් බවත්ය.

කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් සංචාරක ව්‍යාපාරය අඩපණ වීම, විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණවල පහත වැටීම, දරුණු මූල්‍ය අර්බුදයක් ඇතිවීම සහ ශ්‍රී ලංකාවේ ඉහළ ණයබර සමග ඒකාබද්ධ වූ අනෙකුත් සිදුවීම් හේතුවෙන් උද්ධමනය සිදුවූ බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කරනු ලැබීය.

ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සුදුසු වැඩසටහනක් වෙත යොමුවීමට සමගාමීව අපගේ ණය හිමියන් සමග සාකච්ඡා කර බාහිර රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අභිප්‍රාය ඇතිව ශ්‍රී ලංකාව අප්‍රේල් මාසයේ දී “ණය ගෙවීමෙන් නැවතී සිටීමක්” නිවේදනය කළ බවය.

කෙසේ වෙතත්, මෙවැනි විසඳුම් හරහා කටයුතු කරන විට අත්‍යාවශ්‍ය ඖෂධ, ආහාර සැපයුම් සහ ඉන්ධන ආනයනය වැනි අවශ්‍යතා සපුරාලීම සහතික කිරීමට මිත්‍ර රාජ්‍යවල සහාය ශ්‍රී ලංකාවට කඩිනමින් අවශ්‍ය බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. 

ජපානය ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජපානයෙන් අරමුදල් සැපයීම සම්බන්ධයෙන් මේ වන විට පැවැත්වෙන සාකච්ඡා කඩිනමින් අවසන් වනු ඇති බවට බලාපොරොත්තු වන බවද එහිදී ප්‍රකාශ කළේය. 

ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජීය ස්ථාවරභාවය සඳහා දරණ උත්සාහයට ජපානයේ සහාය හිමිවනු ඇතැයි ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බරපතළ දුෂ්කරතාවන්, කොවිඩ් – 19 වසංගතයේ දිගුකාලීන බලපෑම් පිළිබඳ පූර්ව ඇඟවීමක් බවත් එය යුරෝපයේ පවතින ගැටුමෙන් වඩාත් දරුණු අතට හැරී ඇති බවත් කලාපීය මෙන්ම ගෝලීය ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා එවැනි අවධානමට ලක්විය හැකි රටවලට මෙම දුෂ්කර කාලසීමාවේ දී සහාය වීම අත්‍යාවශ්‍ය බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. 

අනාගතයේ දී ආහාර සුරක්ෂිතතාව සම්බන්ධව ලෝකය මුහුණ දෙන වඩාත් පුළුල් ගැටලුවක් පැන නැගෙන අතර ඉදිරි මාස කිහිපය තුළ ඇති විය හැකි ආහාර ද්‍රව්‍යවල හිඟය සහ ආහාරවල මිලෙහි තියුණු වැඩිවීම් බොහෝ රටවලට සැලකිය යුතු පීඩනයක් එල්ල කරනු ඇති බවද ජනපතිවරයා පැවසීය.

එබැවින් මෙම තීරණාත්මක ගැටලු කෙරෙහි අවධානය යොමු කිරීම සහ දේශීය කෘෂිකාර්මික නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දීම මෙන්ම එළැඹෙන ගැටලුව හමුවේ අපගේ ප්‍රත්‍යස්ථතාව වැඩිදියුණු කිරීම අත්‍යාවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම ගැටලු ජයගැනීම සහතික කිරීම සඳහා ජාතීන් අතර සහයෝගීතාව වැඩි කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළේය. 

මැලේසියානු අග්‍රාමාත්‍ය ඉස්මයිල් සබ්‍රි යාකොබ්, කාම්බෝජ අගමැති හන් සෙන්, සිංගප්පූරු අගමැති ලී සියෙන් ලුං, තායිලන්ත අගමැති ප්‍රයුත් චාන් ඕ චා, ලාඕස ජනාධිපති තොන්ග්ලුන් සිසොලිත්, බංගලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා, ඉන්දීය විදේශ ඇමති සුබ්‍රමනියම් ජයිශංකර්, මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් සහ ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති කෙවින් රඩ් යන මහත්ම මහත්මීහු, විද්වත්හු සහ ප්‍රවීණයෝ සමුළුව ඇමතීමට නියමිතව ඇත.

ජපානයේ “නික්කෙයි” (Nikkei) පුවත්පත 1995 වසරේ සිට වාර්ෂිකව මෙම සමුළුව සංවිධාන කරනු ලබයි. 

දෙදිනක් පුරා පැවැත්වෙන සමුළුවේ මෙවර තේමාව “බෙදීගිය ලෝකයක ආසියාවේ භූමිකාව නැවත අර්ථ දැක්වීම” යන්නය.

Leave a Reply

Your email address will not be published.