ජනපතිවරයාගේ රණවිරු දින පණිවුඩය!

කුමන තත්ත්වයක් මත වුවද රටේ ස්වෛරීභායට සහ නිදහස වෙනුවෙන් වූ ප්‍රතිපත්ති ලඝු කොට සැලකීමට කටයුතු නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ අන් සියල්ලට වඩා ඉහළින් මාතෘ භූමිය රැකගැනීමේ අභිලාෂය පවතින නිසාවෙන් බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

රණවිරු දින පණිවුඩය නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

මාතෘ භූමියේ නිදහසත්, භෞමික අඛණ්ඩතාවත් රැක දුන් වීරෝධාර රණවිරුවා කුමන තත්ත්වයක් අභිමුව වුවද අමතක කළ නොහැකි බව ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

රණවිරුවන්ගේ කැපකිරීම්වල ජීව ගුණයට සදා ගරු කරන බව ද සඳහන් කර සිටින ජනාධිපතිවරයා මෙවර ජාතික රණවිරු දිනය සමරනු ලබන්නේ රණවිරුවා ජාතික අභිලාෂයන් වෙනුවෙන් කළ අපරිමිත පරිත්‍යාගයන් සිහිපයත් කරන බව ද පෙන්වා දී තිබේ.

“අපේ වීරෝධාර රණවිරුවෝ යුද සාපය නිමාකොට රටට සාමය උදා කළේ මානුෂීය මෙහෙයුමෙනි. වෛරය, ක්‍රෝධය හා පළිගැනීම ඒ තුළ නොවීය. ඒ නිසාම සාමය උදා වූ මාතෘ භූමියේ ජාතිවාදයට හෝ වෙනයම් අන්තවාදයකට ඉඩක් නැත. අප එය සලකන්නේ ශ්‍රී ලාංකේය සමාජය තුළ වූ සුවිශේෂි අගනාකමක් ලෙසය.” යනුවෙන් ද ජනාධිපතිවරයා නිකුත් කළ රණවිරු දින පණිවුඩයේ සඳහන් වුණි.

ඉතිහාසයේ බොහෝ අභියෝගකාරී යුග සහ අවස්ථා පසුකර ඇති බවත් සෑමවිටම දේශමාමකයෝ එහි පෙරමුණ ගත් බවත් පවසන ජනාධිපතිවරයා, වර්තමානයේ පවතින අභියෝගය දෙස වඩා අවධානයෙන් හා විමසිල්ලෙන් බලා කටයුතු කිරීමේ වගකීම රණවිරුවන්ට ඉතිහාසය විසින් පවරා ඇති බවත් පෙන්වා දෙයි.

ආර්ථික හා දේශපාලන අර්බුදය දඩමීමා කර ගනිමින් ජාතික ආරක්ෂාවට බලපෑම් කිරීමට විවිධ දෙස්, විදෙස් කණ්ඩායම් හා පුද්ගලයින් මාන බලන බවට සැකයක් නොමැති බව ද ජනාධිපතිවරයා නිකුත් කළ පණිවුඩයේ සඳහන්ය.

එය සියලුදෙනා එක්ව පරාජය කළ යුතු බවත් අභීත රණවිරුවා රට වෙනුවෙන් කළ කැපවීම් ආරක්ෂා වන්නේ එවිට බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published.