ගෙවන්න තියෙන ණය ගැන චීනයෙන් මතක් කිරීමක්!

ශ්‍රී ලංකාව විසින් චීනයට ගෙවීමට ඇති ණය සම්බන්ධයෙන් චීනය විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

ඒ ණය සම්බන්ධයෙන් නිසි විසඳුමක් ලබාගැනීමට සහ අවශ්‍ය උපදේශන පැවත්වීමට අදාළවය.

ඒ සඳහා මූල්‍ය ආයතනවලට චීනය සහාය දක්වන බව එරට විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වැන්ග් වෙන්බින් මහතා පවසා තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ණය බර ලිහිල් කිරීමට සහ තිරසාර සංවර්ධනයක් ළඟා කරගැනීම සඳහා ධනාත්මක කාර්යභාරයක් ඉටුකිරීමට චීනය අඛණ්ඩව කටයුතු කරන බවද වැන්ග් වෙන්බින් මහතා පවසා ඇත. 

එමෙන්ම ශ්‍රී ලංකාව විසින් විදේශ ආයෝජන සහ මූල්‍ය හවුල්කරුවන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා තහවුරු කිරීමට හා එම ආයෝජන සහ මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගැනීමට විශ්වසනීය හා ස්වාධීන උත්සාහයන් ගනු ඇති බවට චීනය බලාපොරොත්තු වන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි. 

මේ අතර ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව සහ ලෝක බැංකුව විසින් මෙරට ආර්ථික අර්බුදය සම්බන්ධයෙන්ද ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ. 

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම ආයතනයන තුන පසුගිය 19 වනදා රැස්වී ඇති අතර ශ්‍රී ලංකාවේ දෛනික ජන ජීවිතයට ආර්ථික අර්බුදයෙන් එල්ලවන බලපෑම් අවමකිරීම සඳහා එහිදී සාකච්ඡා කර ඇත.

එහිදී ශ්‍රී ලංකාව තුළ දැනට පවත්වාගෙන යන ව්‍යාපෘතීන් සඳහා නැවත සම්පත් යෙදවීම තුළින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, ඖෂධ, මූල්‍ය ආධාර, ගෑස් සහ පොහොර ලබාගැනීමේ හැකියාව උදාවන බව ඔවුන් පෙන්වාදී තිබේ.

මේ අතර ට්විටර් සටහනක් තබමින් අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හෑන්කි පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ උද්දමන වේගය 122%කින් ඉහළ ගොස් ඇති බවය.

ශ්‍රී ලංකාවට ණය ගෙවීමට නොහැකි බව ප්‍රකාශයට පත්කිරීමත් සමග මෙම තත්ත්වය වර්ධනයවීම වේගවත්වී ඇති බව ඒ මහතා වැඩිදුරටත් පවසයි.

එමෙන්ම අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 50කින් අවප්‍රමාණය වී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය මණ්ඩලයක් පත්කළ යුතු බවද ඒ මහතාගේ අදහසයි.

Leave a Reply

Your email address will not be published.