“ගාලුමුවදොරට එල්ලවූ ප්‍රහාරය” අලුත්ම අනාවරණයක් එලියට!

කළහකාරී පිරිස් ගාලුමුවදොර පිටියට පැමිණීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා තමාට උපදෙස් ලබාදුන් බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පවසා තිබේ.

වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ පසුගිය 9 වනදා ගාලුමුවදොර පිටිය ආසන්නයේ ඇතිවු කළහාකාරී සිද්ධිය පිළිබඳව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු එම අදහස් පළ බවය.

ජනාධිපතිවරයාගේ උපදෙස්වලට අනුව තමන් අවශ්‍ය පරිදි පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්යය බළකාය කැඳවා තිබූ බවත් ජල ප්‍රහාරක රථ දෙකක් සහ කඳුළු ගෑස් එල්ලකරනු ලබන නිලධාරීන් ද ගාලු මුවදොර පිටියට කැඳවා තිබූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කර තිබේ.

එහෙත් අවසන් මොහොතේ දි ඉහළ බලධාරීන් දෙදෙනෙකු ජනාධිපතිවරයා කුමන උපදෙස් ලබාදුන්න ද කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල නොකරන ලෙස තමාට මෙන්ම එහි සිටි තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට දැනුම්දුන් බවද ඔහු මානව හිමිකමි කොමිෂන් සභාව හමුවේ දැනුම් දී ඇති බව සඳහන් වෙයි.

දේශබන්දු තෙන්නකොන් මහතා ප්‍රකාශ කර ඇත්තේ, එහිදී තමා අදාළ බලධාරීන්ට ලබාදුන් ප්‍රතිචාරය ඒ අවස්ථාවේ සිටි පොලිස් නිලධාරීන් හොඳාකාරවම දන්නා බවය.

මේ සමගම කළහාකරී පිරිස බලහත්කාරයෙන් පොලිස් නිලධාරීන් ඉවත් කරමින් ගාලුමුවදොර පිටියට ඇතුළු වූ බවත් තමා ජනාධිපතිවරයාට තත්ත්වය පවසා අදාළ බලධාරීන් දෙදෙනා බලපෑම් සිදුකරන බවට ප්‍රකාශ කළ බවත් ඔහු පවසා තිබේ.

ජනාධිපතිවරයා ලබාදුන් උපදෙස් අනුව කටයුතු කළේ නම් මෙවැනි තත්ත්වයක් ඇති වීම වළක්වා ගැනීමට හැකියාව තිබූ බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ කර ඇති බවද සඳහන් වෙයි.

මීට අදාළ ලේඛන ද දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් මානව හිමිකම් කොමිෂන් සභාව හමුවට ඉදිරිපත් කර ඇති අතර තමාගේ සැලැස්ම පිළිබඳව ඕනෑම කණිෂ්ඨ හෝ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු කැඳවා විමසන ලෙසටද ඔහු මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා තිබේ.

මේ අතර කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා මෙම සිද්ධියට අදාළ ලොග් සටහන් පුළුස්සා දැමීමේ සුදානමක් පිළිබඳව තොරතුරු අනාවරණය කළේය.

Leave a Reply

Your email address will not be published.