කොවිඩ් අරමුදලේ මිලියන 1800ක් යොදවන්න යන වැඩේ එලියට!

කොවිඩ් අරමුදලේ ඇති රුපියල් බිලියන 1.8ක මුදල අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව කඩිනමින් අවධානයට ලක්විය යුතු කරුණු සම්බන්ධයෙන් අද (03) පෙරවරුවේ කොළඹ ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මේ වනවිට කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වී ඇති බැවින් එම මුදල් සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් යෙදවිය හැකි බව ජනාධිපතිවරයා පැවසීය.

ලෝක වෙළෙඳපොළෙහි ඖෂධ මිල සීඝ්‍රයෙන් ඉහළයමින් පවතින බැවින් දේශීයව කෙරෙන ඖෂධ නිෂ්පාදන කටයුතු කඩිනමින් ඉහළ නැංවීමටත් ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය ඉන්දීය ණය ආධාර යටතේ ලබාගැනීමටත් හැකි බව එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඔයාමඩුව සහ හොරණ මිල්ලෑව ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ඖෂධ නිෂ්පාදනය කිරීමට ආයෝජකයෝ 12දෙනෙක් ඉදිරිපත්ව සිටින බව ජනාධිපති මාධ්‍ය සඳහන් කරයි.

එම නිෂ්පාදන කටයුතු ඉදිරි මාස කිහිපය තුළ ඇරඹීමට අපේක්ෂා කරන අතර ඖෂධ වර්ග 200කට අධික සංඛ්‍යාවක් නිපදවීමේ ශක්‍යතාව මෙම කලාප තුළ පවතින බව නිලධාරීන් එහිදී පවසා ඇත.

Leave a Reply

Your email address will not be published.