කුසල් මෙන්ඩිස් රෝහල්ගත කෙරේ!

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් හදිසියේම රෝහල්ගතකර තිබේ.

බංග්ලාදේශ තරග සංචාරය සඳහා එක්ව සිටින කුසල් මෙන්ඩිස් ඩකා නුවර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය අතරතුරදී හදිසියේ ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙලෙස රෝහල්ගතකර ඇත.

දහවල් ආහාරය සඳහා තරගය නතරකිරීමට සුළු මොහොතකට පෙර ඔහු මෙලෙස අසනීප තත්ත්වය හේතුවෙන් පිටියෙන් ඉවත්විය.

ඔහුගේ රෝගී තත්ත්වය සඳහා වැඩිදුර ප්‍රතිකාර ලබාදීම සඳහා මෙලෙස රෝහල්ගතකර ඇති බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ වෛද්‍යවරයා උපුටා දක්වමින් විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත.

ඔහු නැවත මෙම තරගය සඳහා එක්වීම පිළිබඳව හෝ ඔහුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් මෙම අවස්ථාවේදී තීරණයක් ගෙන නොමැති බවද විදෙස් ක්‍රීඩා මාධ්‍ය වැඩිදුරටත් වාර්තාකර තිබුණි.

කෙසේ වෙතත් බොහෝදුරට gastritis තත්ත්වයක් විය හැකි බවද විදෙස් මාධ්‍ය බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ වෛද්‍යවරයා උපුටා දක්වමින් වාර්තා කර ඇත.

පළමු තරගයේදී කුසල් මෙන්ඩිස්ගේ පිත්තෙන් ශ්‍රී ලංකා ඉනිමට සුවිශේෂී ශක්තියක් ලැබුණි.

එහිදී පළමු ඉනිම සඳහා අර්ධ ශතකයක් රැස්කරගත් කුසල් මෙන්ඩිස් දෙවන ඉනිමේදී වේගවත් ලකුණු 48කින් සිය ඉනිම වර්ණවත් කරනු ලැබීය.

මෙම සංචාරයේදී ක්‍රීඩකයන් රැසක් දැඩි හිරු රශ්මිය හේතුවෙන් පීඩා විඳින අයුරු දැකගත හැකිවිය.

ප්‍රථම තරගයේ තුන්වන දිනයේදී බංග්ලාදේශ ක්‍රීඩක තමිම් ඉක්බාල් අධික වෙහෙසකර තත්ත්වය හේතුවෙන් විවේක ගන්වනු ලැබීය.

එසේම තරගයේ විනිසුරු  Richard Kettleborough ද පළමු තරගයේ සිව්වන දිනයේදී පිටියෙන් ඉවත්ව ගියේ දැඩි අව් රශ්මිය හේතුවෙනි.

මෙම සංචාරය සඳහා එක්ව සිටි ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු ද පළමු ටෙස්ට් තරගය අතරතුරදී ආබාධයකට ලක්විය.

Shoriful Islam යැවූ පන්දුවක් හිසේ වැදීමෙන් ඔහු ආබාධයට ලක්වූ අතර ඒ අනුව එම තරගය සඳහා කසුන් රාජිත ආදේශ කරනු ලැබිණි.

Leave a Reply

Your email address will not be published.