කිසිවකු බඩ ගින්නේ තියන්නේ නෑ!

ආහාර අර්බුදය හමුවේ කිසිවෙකු බඩගින්නේ නොතැබීම තමාගේ ප්‍රතිපත්තිය බවත් ඉදිරියේදී ලාංකීය ජනගහනයෙන් ලක්ෂ 40 ත් 50 ත් අතර පිරිසකට ආහාර අර්බුදය සෘජුව බලපෑ හැකි වුවත් එය පාලනය කර ගැනීමට අවශ්‍ය කටයුතු සකස් කරන බව ත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

හෙතෙම මේ අදහස් පැවසුවේ අද (17)පෙරවරුවේ ආහාර සුරක්ෂිතතතාවය පිළිබඳ වූ කමිටුව අගමැති කාර්යාලයේදී රැස්වු අවස්ථාවේදීයි. ‍මෙහිදී අගමැතිවරයා නිලාධාරීන් උපදෙස් දුන්නේ විශේෂයෙන්ම කුඩා දරුවන් සහ වැඩිහිටියන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙසයි.

ආහාර අර්බුදයට සාර්ථකව මුහුණදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර එයට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , ආචාර්ය හර්ෂද සිල්වා යන පාර්ලිමේන්තු නියෝජිතයින් එක් කරන ලෙසත් ඊට අමතරව ජනාධිපති කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, යුද හමුදාව, පෞද්ගලික අංශය ඇතුළු අදාළ ආයතනවල නියෝජිතයින් ඊට එක් කර
එම කමිටුව විසින් සකස් කරන ලද සැලසුම සති 02 ක් ඇතුළත තමාට ලැබෙන්නට සලස්වන ලෙසත් මෙහිදී අගමැතිවරයා උපදෙස් ලබා දුන්නේය.

ආහාර සුරක්ෂිතතා වැඩසටහන යටතේ දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 336 සංවර්ධනය කර ඉලක්ක කරා ගෙන යාමට නායකත්වය සැපයීම සඳහා කොට්ඨාස 225ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ඉතුරු කොටස අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ඉහළ නිලධාරීන්ටත්, පෞද්ගලික අංශයටත් බෙදා භාර දිය යුතු බව අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය. මේ සඳහා උපාධිධාරී පත්වීම් ලැබ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සිටින උපාධිධාරීන් ද එක් කර ගැනීමට යෝජනා විය.

ධීවර ප්‍රජාවට අවශ්‍ය ඉන්ධන, ගෑස් සහ කෘෂිකර්මාන්තයට අවශ්‍ය ඉන්ධන ලබා දීමට ප්‍රමුඛත්වය දෙන ලෙස අගමැතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

ආහාර සුරක්ෂිතතාවය යන කාරණයේදී විශේෂයෙන්ම ළමා නිවාස, වැඩිහිටි නිවාස, ආබාධිත පුද්ගලයින් සිටින නිවාස සඳහා විශේෂ අවධානයක් යොමු කරන ලෙස ද අවධාරණය කෙරිණි.

එමෙන්ම, කලාපීය වශයෙන් තරඟකාරී වෙළඳපොළක් නිර්මාණය වන නූතන කෘෂි ක්‍රමවේදයක් සඳහා මධ්‍ය කාලීන හා දිගු කාලීන සැලස්මක අවශ්‍යතාවය අවධාරණය කළ අගමැතිවරයා එය කඩිනමින් සකස් කළ යුතු බවද පැවසීය.

Leave a Reply

Your email address will not be published.