කාල්ටන් වත්තෙන් බලු පැටවෙකු සොරකම් කළ මන්ත්‍රී දියණිය අත්අඩංගුවේ!

වීරකැටිය, කාල්ටන් වත්තට පිරිසක් පහරදුන් අවස්ථාවේ සිට අතුරුදන්ව සිටි බලු පැටවුන් තිදෙනෙකු අතරින් එක් පැටවෙකු වීරකැටිය ප්‍රදේශයේ හිටපු එ.ජා.ප. මන්ත්‍රීවරයෙකුගේ නිවෙසෙහි සිටියදී වීරකැටිය පොලිසිය විසින් ඊයේ (මැයි 15) සොයාගනු ලැබී ය.

වීරකැටිය-තංගල්ල මාර්ගයේ පිහිටි රාජපක්ෂලාට අයත් බව කියන කාල්ටන් වත්තෙහි ඇති දැඩි කළ බලු පැටවුන් තුන්දෙනෙකු ඉකුත් 9 වන දා අතුරුදන් වී ඇත.

කිසියම් පිරිසක් එම වත්තට පැන දේපළවලට පහරදුන් අවස්ථාවේ සිට මෙම බලු පැටවුන් තිදෙනා අතුරුදන් වී තිබේ.

කූඩුවක සිටි එම බලු පැටවුන් කිසිවෙකු කූඩුව විවෘත කර ගෙන ගොස් තිබූ අතර මේ සම්බන්ධයෙන් වීරකැටිය පොලිසිය විමර්ශන කරමින් සිටී.

අතුරුදන් වූ ලැබ්‍රඩෝර් වර්ගයේ බලු පැටවෙකු හිටපු එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සහ මේ වනවිට සමගි ජන බලවේගයට සහාය දක්වන අයෙකුට අයත් බව කියන වීරකැටිය-බෙලිඅත්ත මාර්ගයේ පිහිටි නිවෙසක සිටියදී පොලිසිය සොයාගෙන තිබිණි.

හිටපු මන්ත්‍රීවරයාගේ 21 හැවිරිදි දියණියක සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉකුත් 9 වන දා ඇය මෙම බලු පැටවා ගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

වීරකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැලුම් සංගීත් මහතා ඇතුළු නිලධාරීහු මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කරන අතර අතුරුදන් වූ අනෙක් බලුපැටවුන් සොයා පරීක්ෂණ මෙහෙයවති.

  • සහම්පති මානගේ – තංගල්ල

Leave a Reply

Your email address will not be published.