“කාටවත් 113 නෑ” අලුත් නියෝජ්‍ය කතානායක මෙන්න!

නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පැවති රහස් ඡන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා අජිත් රාජපක්ෂ මහතා තේරි පත්වුණි.

ඔහුට ඡන්ද 109 ලැබුණු අතර එම ධුරය සඳහා තරග කළ රෝහිණී කවිරත්න මහත්මිය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 78 කි.

අවලංගු වු ඡන්ද ගණන 23කි.

රංජිත් සියඹලාපිටිය මහතා ඉල්ලා අස්වීමත් සමගම නියෝජ්‍ය කථානායක ධුරය පසුගියදා හිස්විය.

එම ධුරයට අද (17) පාර්ලිමේන්තුවේ දී නම් දෙකක් යෝජනා වුණි.

එහිදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රෝහිණී කවිරත්න මහත්මියව නියෝජ්‍ය කථානායක ධූරයට යෝජනා කළ අතර එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් එම යෝජනාව ස්ථීර කළේය.

සමගි ජන බලවේගය පැවසුවේ එම ධුරය සඳහා කාන්තාවක් පත්කළ යුතුය යන අගමැතිවරයාගේ ඉල්ලීමක් පරිදි ඔවුන් කවිරත්න මහත්මියගේ නම යෝජනා කළ බවය.

එම එකඟතාවයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එකඟවූයේ නැත.

ඒ හේතුවෙන් ඔවුන් පැවසුවේ තම පාර්ශ්වයෙන් ද නියෝජ්‍ය කථානායක ධුරය සඳහා මන්ත්‍රීවරයෙක්ව යෝජනා කරන බවය.

ජී.එල් පීරිස් මහතා විසින් අජිත් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කළ අතර සමන්ප්‍රිය හේරත් මහතා එය ස්ථීර කළේය.

කෙසේවෙතත් එම අවස්ථාවේ දී නියෝජ්‍ය කථානායක ධූරය වෙනුවෙන් ඡන්ද විමසීමට විරෝධය දක්වමින් විමල් වීරවංශ මහතා පවසා සිටියේ, ජනතාවගේ මුදල් නාස්ති නොකර කථාකර එකඟත්වයකට පැමිණෙන ලෙසය.

ඡන්දයක් පැවැත්වීමට මිලියන 9ක පමණ මුදලක් වැයවෙන බව ද ඒ මහතා කියා සිටියේය.

එහෙත් එවැනි එකඟතාවයකට පැමිණීමට දෙපාර්ශවය අසමත් වූ බැවින් රහස් ඡන්ද විමසීමකට යාමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කළේය.

Leave a Reply

Your email address will not be published.