කළු සල්ලි පල් හොරා සුකේෂ් එක්ක ජැකොලයින් ගහපු ගේම මොකක්ද?

බොලිවුඩ්හි කැපීපෙනෙන සිනමා තාරුකාවක් බවට පත්වූ ජැකොලයින් ෆර්නැන්ඩස් (Jacqueline Fernandez) ගැන කලක් තිස්සේ අප කතා කළේ ආඩම්බරයෙනි. ඒ ඇයගේ ශ්‍රී ලාංකික සම්භවය හේතුවෙනි.

එහෙත් මේ වන විට ජැකොලයින් දෙසට විසිවන්නේ මල් නොවේ. ගල් මුල්ය. නින්දා සහගත, අවමන් සහගත වදන්ය. සුරූපී ජැකොලයින්ගේ ඉරණමට මෙබඳු පරිච්ඡේදයක් එක්වූයේ ඇයට ළංවූ වංචනික අපරාධකරුවකු නිසාවෙනි.

ජැකොලයින්ට ළංවූ මේ වංචනික අපරාධකරුගේ නම සුකේෂ් චන්ද්‍රශේකර් වෙයි. මේ වන විට සුකේෂ් චන්ද්‍රශේකර් ඉන්දීය රුපියල් කෝටි දෙසීයකට අධික මුදලක් සම්බන්ධයෙන් ඉන්දීය නීතිය යටතේ මුදල් විශුද්ධිකරණයට එරෙහි පනත (Anti Money Laundering act) යටතේ චෝදනා ලැබ සිටින්නෙකි.

මෙකී මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරන ඉන්දීය නීති බලධාරීහු ජැකොලයින් ෆර්නැන්ඩස් පසුපසද පන්නන්නට වූහ. ඒ, සුකේෂ් චන්ද්‍රශේකර් වංචා කළ මුදල් ජැකොලයින් වෙතද ලබාදී ඇති බවට මතුවූ සැකය හේතුවෙනි. ජැකොලයින් මුලදී සුකේෂ් චන්ද්‍රශේකර් සමඟ සමීප ඇසුරක් පවතින බව ප්‍රතික්‍ෂේප කළාය. එහෙත් ඒ ප්‍රතික්‍ෂේප කිරීමෙන් දින දෙකකට පසුව ජැකොලයින් සුකේෂ් සමීප ඇසුර තහවුරු කෙරෙන ඡායාරූප දෙකක් ‘ඉන්ඩියා ටුඩේ’ පුත්පතේ පළ විය. දර්පණයක් අසල සිට දෙදෙනා ගත් සෙල්ෆි ඡායාරූප දෙකක් වන එම ඡායාරූප දෙකෙන් එකක් ජැකොලයින්ගේ කොපුල් තලයක් මත හාදුවක් තබන සුකේෂ්ය. අනෙකේ සුකේෂ්ව තදින් බදාගෙන ඔහුට හාදුවක් දෙන ජැකොලයින්ය. ඒ සියල්ලටම වඩා එම අවස්ථාවේ දර්පණයෙන් පෙනෙන සෙල්ෆි ඡායාරූපය ලබාගත් ජංගම දුරකථනය සුකේෂ් විසින් ඉන්දීය රුපියල් කෝටි 200කට අධික මුදලක් විශුද්ධිකරණයට ලක්කිරීමට භාවිත කළ ජංගම දුරකථනයම බවද නීති බලධාරීන් විසින් තහවුරු කරගෙන ඇත.

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් සුකේශ් චන්ද්‍රශේකර්ව අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් වසරේ එනම් 2021 අගෝස්තු මාසයේදීය. එතැන් සිට ඉන්දීය නීති බලධාරීන් විසින් කිහිප විටක්ම මේ සම්බන්ධයෙන් ජැකොලයින්ගෙන්ද ප්‍රශ්න කරන්නට යෙදිණි.

දෙසැම්බර් 08 වැනිදා විදේශ ගතවීම සඳහා මුම්බායි ගුවන්තොටුපළට ගිය ජැකොලයින්ව නීති බලධාරීන් විසින් නතර කිරීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් ජැකොලයින්ගේ පටලැවීම වඩාත් ප්‍රසිද්ධියට පත් විය. නීති බලධාරීන් කියා සිටියේ සුකේෂ් චන්ද්‍රශේකර්ගේ මුදල් විශුද්ධිකරණ නඩුවේ ඉදිරි කටයුතු සඳහා ජැකොලයින්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට අවශ්‍ය විය හැකි  බැවින් ජැකොලයින්ට රටින් පිටව යෑමට අවසර නොදිය හැකි බවයි. ඊට පසුදිනම එනම් දෙසැම්බර් 08 වැනිදාම ජැකොලයින් නීති කාර්යාංශය වෙත කැඳවන ලදී.

විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇති අන්දමට සුකේෂ්ව අත්අඩංගුවට ගැනීමට පෙරද, පසුව ඔහු ඇප ලබා නැවත පැමිණි පසුවද ආදී වශයෙන් කලක් තිස්සේ ජැකොලයින් හා සුකේෂ් අතර සමීප සබඳතාව පැවැතී ඇත.

ජැකොලයින් සමඟ සමීපව සිටියත් සුකේෂ් චන්ද්‍රශේකර් විවාහකයෙකි. මේ වනවිට ජැකොලයින් 36 හැවිරිදි වියේ පසුවන්නීය. සුකේෂ් තිස් ගණන්වල අග හරියේ සිටින්නෙකි. සුකේෂ්ගේ බිරියද නිළියකි. ඇයගේ නම ලීනා මාරියා පෝල්ය. මේ වනවිට මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් සුකේෂ් සමඟ ඔහුගේ බිරිය ලීනාද, ඔහුගේ සමීප මිතුරන් කිහිප දෙනකුද ඇතුළුව අට දෙනකු අත්අඩංගුවේ පසුවෙති.

ඉකුත් වසරේ අගෝස්තු පළමුවැනිදා සුකේෂ් නැවැත අත්අඩංගුවට ගනු ලැබිණි. ජැකොලයින් සහ සුකේෂ් සමීපව සිටින ඡායාරූප අප්‍රේල් – ජුනි කාල සීමාව තුළ ගනු ලැබූ ඒවා බව කියැවේ. ඒ සුකේෂ් ඇප මත මුදාහැර තිබූ කාලයයි.

පළමුව සුකේෂ්ගේ නීතිවේදියා ජැකොලයින් සුකේෂ් සමඟ සමීප සබඳතාවක් (Dating) පවත්වමින් සිටි බව පිළිගන්නා ලදී. නමුත් ජැකොලයින්ගේ ප්‍රකාශකයා සුකේෂ් හෝ ඔහුගේ නිළි බිරිය සමඟ ජැකොලයින්ගේ සම්බන්ධතාවක් නොමැති බවට ප්‍රකාශයක් කළේය.

නමුත් මේ වනවිට ජැකොලයින්ම සියල්ල වමාරා ඇත. සුකේෂ්ව මුලින්ම දැන හඳුනාගත් හැටිද, සුකේෂ්ගෙන් ලැබුණු වටිනා තෑගි භෝග ආදිය ගැනද ජැකොලයින් ඉකුත් සතියේදී නීති නිලධාරීන් හමුවේ හෙළි කළාය.

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් සුවිසල් චෝදනාවකට මුහුණ පා සිටින සුකේෂ් චන්ද්‍රශේකර් කවුදැයි ජැකොලයින්ගේ ප්‍රකාශයට පෙර දැන ගැනීම වටී.

සුකේෂ් චන්ද්‍රශේකර් ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බෙන්ගලාරුහි උපන්නෙකි. සැප සම්පත් සහිත සුඛෝපභෝගී දිවියකට කුඩා කල සිට ඇලුම් කළ සුකේෂ් ඔහුගේ වංචාකාරී දිවිය ඔහුට වයස 17දී ආරම්භ කළ බවට වාර්තා ලැබී ඇත. ඔහු උපන් ප්‍රදේශය වන බෙන්ගලාරුහි කූට ලේඛන සෑදීමෙන් මේ ප්‍රයෝගකාරී ජීවිතය ඇරඹූ සුකේෂ් පසුව චෙන්නායි නගරය වෙත ආවත් ඉඩ ලැබුණු සෑම විටම චෙන්නායි සහ අනෙකුත් නාගරික ප්‍රදේශයන්හි ජනයා මුළා කරමින් මුදල් ඉපැයුවේය.

මේ වනවිට දිල්ලි නගරයේ සිරකූඩුවක සිටින ඔහුට එරෙහිව මුල් අවස්ථා තොරතුරු වාර්තා 15ක් ගොනු කර ඇත. නීති බලධාරීන්ට අනුව චෙන්නායි නගරයේ මුහුදට මුහුණලා ඉදිකර ඇති සුඛෝපභෝගී බංගලාවක්, සුඛෝපභෝගී කාර් රථ කිහිපයක් සහ ඉන්දීය රුපියල් ලක්ෂ 82.5ක් ඔහු සතුව තිබේ. මේ සියල්ල මුදල් විශුද්ධිකරණය හා සමඟ බැඳුණු ඒවා බව පොලිසිය සැක කරයි. මෙම රුපියල් කෝටි 200කට අධික මුදල් විශුද්ධිකරණ ප්‍රයෝගය ඔහු ක්‍රියාත්මක කළේ නවදිල්ලියේ ටිහාර් බන්ධනාගාරය තුළ සිටියදී බවද කියැවේ.

ඊට පෙර සුකේෂ් දේශපාලනඥයකු සිය ඥාතියකු බව කියමින් රැකියා ලබාදෙන බවට පොරොන්දු දෙමින් මිනිසුන් රවටා මුදල් ගරාගෙන ඇත. එසේම යම් චැනලයක් සඳහා යැයි කියමින් සියයකට අධික පිරිසක් රවටා රුපියල් කෝටි 75ක පමණ මුදලක් ඔවුන්ගෙන් කඩාගෙන ඇත. 2011 වසරේදී එවකට ඔහුගේ පෙම්වතියව සිටි වත්මන් බිරිය වන ලීනා සමඟ ඔහු අත්අඩංගුවට පත්වූයේ චෙන්නායිහි පිහිටුවා ඇති කනාරා බැංකුවට වංචා කිරීමේ චෝදනාවටයි.

ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතේ පළ කළ ප්‍රවෘත්තියකට අනුව කොච්චිහි ස්ථාපිත එම්මානුවෙල් සිල්ක් ආයතනයේ ශාඛා කළමනාකරුවකුට කත්‍රිනා කායිෆ් නිළිය ප්‍රවර්ධන කටයුත්තකට ලබාදෙන බව කියමින් රුපියල් ලක්ෂ 20ක් වංචා කර ඇත. නමුත් පසුව සුකේෂ් එම කටයුත්තට ලබාදී ඇත්තේ අල්ලු අර්ජුන් නමැති තෙළිඟු නිළියකි. ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කළත් එම අවස්ථාවේ සුකේෂ්ව අල්ලා ගැනීමට නොහැකි වී ඇත.

මෙවන් ඉතිහාසයක් ඇති සුකේෂ් චන්ද්‍රශේකර් විසින් ජැකොලයින් ෆර්නැන්ඩස් නිළියට ඉතා වටිනා තෑගි ලබාදී ඇතැයි ඉන්දීය නීති බලධාරීන් සුකේෂ් චන්ද්‍රශේකර්ට ලබාදුන් චෝදනා පත්‍රයේද සටහන් කර ඇත.

සුකේෂ් ජැකොලයින්ට ලබාදුන් වටිනා තෑගි අතර ගුචී බෑග් (Gucci Bags), කායවර්ධන මධ්‍යස්ථාන හෙවත් ජිම් සඳහා අඳින ගුචි ඇඳුම් කට්ටල දෙකක්, ජනප්‍රිය ලුවි වටාන් (Lovis Vuitton) සපත්තු ජෝඩුවක්, දියමන්ති කරාබු ජෝඩු දෙකක්, විවිධ වර්ණ මැණික් ඇල්ලූ අත් පලඳනාවක්, වටිනා මාදිලියක් වන හර්මීස් (Hemes) අත් පලඳනා වේ. මෙම තෑගි සුකේෂ්ගෙන් තමාට ලැබුණු බව ජැකොලයින් පසුගිය සතියේදී පිළිගත්තාය.

එහෙත් සුකේෂ්ගෙන් ලැබුණු මිනි කූපර් ස්පෝර්ට්ස් කාරය ඇය පෙරළා ඔහු වෙත යැවූ බවද සඳහන් කරයි.

එසේම ඉකුත් අගෝස්තු සහ ඔක්තෝබර් මාසවලදී නීති බලධාරීන් වෙත පාපෝච්චාරණයක් කරමින් සුකේෂ්ගෙන් තමාට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 1.5ක ණයක් ලැබුණු බව ජැකොලයින් පිළිගෙන ඇත. මීට අමතරව ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ ගණනක්ද ලැබී තිබේ. අනෙකුත් වටිනා තෑගි අතර ඉන්දීය රුපියල් ලක්ෂ 52ක් වටිනා අශ්වයකුද, එකෙක් රුපියල් ලක්ෂ 9ක් වටිනා පර්සියන් පූසන් තිදෙනෙක්ද සුකේෂ්ගෙන් ජැකොලයින්ට ලැබී ඇති අපූරු තෑගි අතර වෙයි.

මෙවැනි අපූරු වටිනා ත්‍යාග ලබාදුන් සුකේෂ් හඳුනාගත් ආකාරය ගැනද ජැකොලයින් පසුගිය සතියේ විස්තර කළාය.

ජැකොලයින්ට අනුව ඇය පළමුව ඔහු හඳුනාගත්තේ ශේකර් රත්නවිලා ‘Shekhar Ratna Vela’ නමිනි. “එම අවස්ථාවේ ඔහු තමාගේ මාමාගේ වියෝව ගැන දැඩි දුකකට පත්ව සිටියාය. ඔහු මට එම මළගෙදරට සහභාගි වීමට චෙන්නායි එන්න කියලා ආරාධනා කළා. මුම්බායි සිට චෙන්නායි කරා ඒමට මට පෞද්ගලික ජෙට් යානයක් එව්වා. ඔහු ගුවන්තොටුපොළට ආවේ නෑ. සහායකයකු එවා තිබුණා. මා හෝටලයට ගිහින් පැයකට පමණ පසු ශේකර් ඇවිත් මා හමුවුණා. අපි එකට දිවා ආහාරය ගත්තා. විශාල Suite වර්ගයේ කාමරයක් වූ එහි ආහාර ගන්නා කාමරයේදී ආහාර අරගෙන විසිත්ත කාමරයේ කතා කරමින් හිටියා. පහුවදා ඔහු නැවත හෝටලයට පැමිණ උදේ ආහාර ඇණවුම් කළා. උදේ ආහාර ගැනීමෙන් පසුව ඔහු මාව ගුවන්තොටුපොළට ඇරලුවා. මා නැවත මුම්බායි කරා ආවේද ඔහු ලබාදුන් පෞද්ගලික ජෙට් යානයෙනුයි” ජැකොලයින් ප්‍රකාශ කරන්නීය.

එසේම සුකේෂ් සූදානම් කළ පෞද්ගලික ජෙට් යානාවලින් ඇය දෙවරක්ම කේරළය කරා ගමන් කළ බවද ජැකොලයින් පිළිගෙන තිබේ. ගුවන්තොටුපොළේ සිට හෝටලය කරා ගොස් ඇත්තේ පෞද්ගලික හෙලිකොප්ටර් යානාවලිනි. මෙම ජෙට් යානා සහ හෙලිකොප්ටර් යානා ඔහුටම අයත් ඒවා බව සුකේෂ් පැවැසුවා යැයි ජැකොලයින් කියන්නීය.

සුකේෂ්ගේ මුදල් විශුද්ධිකරණ විමර්ශනය හමුවේ මේ වනවිට ජැකොලයින්ගේ නමට ඇති ඉන්දීය රුපියල් කෝටි 7.12ක ස්ථාවර තැන්පත් සහ ඉන්දීය රුපියල් ලක්ෂ 15ක මුදල් නඩුවට සම්බන්ධ කිරීමට ඉන්දීය ෆෙඩරල් අධිකරණය නියෝග කොට ඇත්තේ ඒවා අපරාධ ක්‍රියාවලියකට අයත් බව සඳහන් කරමිනි.

ජැකොලයින් වෙත ඉන්දීය රුපියල් කෝටි 5.71ක් වටිනා තෑගි ලබාදීමට සුකේෂ් චන්ද්‍රශේකර් කටයුතු කර ඇති අතර ඒවා අපරාධ කටයුතු මඟින් ඉපැයූ ඒවා බවද සඳහන් කර ඇත. මේ හැරෙන්නට ජැකොලයින්ගේ පවුලේ සමීපතමයන්ටද චැනලයක් සඳහා මුදල් ගෙවා ඇති බව හෙළි වී තිබේ.

රු කාරියවසම්/ www.mawbima.lk

Leave a Reply

Your email address will not be published.