කබ්‍රාල් ලක්ෂමන් පීබී ළඟ තියාගෙන නන්දලාල් දෙහි කපයි! [VIDEO]

රජයේ වගකිවයුතු නිලධාරීන් දේශපාලනය කිරීමෙන් වැළැකිය යුතු බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

අද (09) පැවති රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඔහු මේ බව පැවසීය. 

දේශපාලනඥයෙක් සහ නිලධාරියෙක් අතර තිබෙන වෙනස නිසි ලෙස හඳුනාගත යුතු බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය.

“හිටපු නිලධාරීන් කියනවා නම් දේශපාලන අධිකාරිය අනුමත කරපු නිසා සහ කැබිනට් එක නිසා මට කරන්න දෙයක් නැහැ අපි ඒක ක්‍රියාත්මක කරනවා කියලා.. එතකොට වගකිවයුතු නිලධාරී කණ්ඩායමක් හැටියට අපි දැන දැන තීරණ ගත්තා නම් ඇයි අපි පහුගිය දවස්වල බදු වැඩි කළේ.” 

“කලින් තීරණයක් ගත්ත නිසා ඒක එහෙම්මම යන්න පුළුවන් නේ. කඩාවැටෙනකම් බලා ඉන්න පුළුවන්නේ.”

“නමුත් ඒ කඩාවැටෙනවා කියන එක දැක්කේ නැද්ද වැටෙනකම් ම. ඒක දැකලා වෙනස් කරන්න යම්කිසි ක්‍රියාමාර්ගයක් ගත්තා ද?. ඒක ඇමතිතුමාට දැනුම්දුන්නාද?. ඒක කැබිනට් එකට දැනුම්දුන්නා ද?”

“ඒ ක්‍රියාමාර්ගය නිලධාරීන් පැත්තෙන් වුණා ද? නැද්ද? කියන එක තමයි අපිට වැදගත්.” 

“අපිට බලාපොරොත්තු වෙන්න බැහැ.. දේශපාලන නායකත්වය කියන්නේ විශේෂඥයින් නෙමෙයි. නිලධාරීන්ගේ වගකීම තමයි එහෙම වෙලාවට කියලා ඒ තීන්දුව වෙනස් කරන එක.” 

“එහෙම බැරිනම් ඒගොල්ලෝ කරන්නේ දේශපාලනය. ඒකයි මගේ මතය.”

“රජයේ වගකිව යුතු නිලධාරීන් දේශපාලනය කිරීමෙන් වැළැකිය යුතුයි. දේශපාලනඥයකු සහ නිලධාරියකු අතර තිබෙන වෙනස නිසි ලෙස හඳුනාගත යුතුයි.”

“දේශපාලනඥයින් විසින් ගනු ලබන තීරණ නිවැරදි නොවන අවස්ථාවන්හිදී එය පැවසීම නිලධාරීන්ගේ වගකීම සහ යුතුකමක්.”

“එවන් තීරණවලට ලැබෙන ප්‍රතිඵල සඳහා දේශපාලනඥයින් පමණක් වගනොකිය යුතුයි.”

“වසර දෙකක් යන තුරු රටේ ආර්ථිකය නිසි මාර්ගයේ ගමන් නොකළ බව, රටේ ආර්ථිකය බිඳ වැටෙනතුරුම තමන් දැනුවත් නොවූ බවත් දේශපාලන අධිකාරියේ තීරණ මත පමණක් පදනම්ව එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා යැයි පැවසීම අනුමත කළ නොහැකියි.”

මේ අතර මෙහිදී අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල මහතා පැවසුවේ,

ආණ්ඩුවේ බදු ප්‍රතිපත්ති වෙනස්වීමට වඩා වාහන ආනයනය නැවතීම ඇතුළු කොවිඩ් තත්ත්වය රටේ ආර්ථික බිඳවැටීමට හේතුවූ බවය.

2019 වසර අවසානයේ නව ආණ්ඩුවේ බදු ප්‍රතිපත්ති වෙනස්වීම හේතුවෙන් රුපියල් බිලියන 500කට ආසන්න මුදල් ප්‍රමාණයක් රටට අහිමි වූ බව ප්‍රකාශ කිරීම සාධාරණ නොවන බවත් ඒ සඳහා වාහන ආනයනය නතර කිරීම ඇතුළුව පනවනු ලැබූ ආනයන සීමා හේතුවෙන් ඇතිවූ පාඩුව සහ කොවිඩ් තත්ත්වය හේතුවෙන් ඇතිවූ ආර්ථික සංකෝචනය ඇතුලු  හේතුන් බලපෑ බව මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල මහතා පෙන්වා දුනි. 

Leave a Reply

Your email address will not be published.