“ඇමති වැටුප කීය ද කියලාවත් මා දන්නේ නෑ”

අමාත්‍යවරයෙකුට හිමි වැටුප පිළිබඳව නිශ්චිත සංඛ්‍යා දත්ත තමා නොදන්නා බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන සඳහන් කළේ ය.

කැබිනට් තීරණ දැනුම් දීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (ජූනි 7) පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයෙකුට කෙතරම් වැටුප් ප්‍රමාණයක් හිමිවනවා ද යන්න මාධ්‍යවේදියෙකු විමසූ පැනයට පිළිතුරු ලෙස හෙතෙම මේ බව පැවසීය.

දීර්ඝ කාලයක් තිස්සේ තම මන්ත්‍රී වැටුප විවිධ අරමුදල්වලට පරිත්‍යාග කරන නිසා අමාත්‍යවරයෙකුට හිමි නිශ්චිත වැටුප කොතෙක් ද යන්න තමා නොදන්නා බව ඔහු කීය.

සියලු අමාත්‍යවරුන් වසරක කාලයක් වැටුප් නොලබා සේවය කිරීමට අදාළව අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව ඇතැයි බන්දුල ගුණවර්ධන සඳහන් කළේ ය.

ජනතාව සිදු කරන අනේකවිධ පරිත්‍යාග මෙන් අමාත්‍යවරුන් ද සිය වැටුප් නොලබා වසරක කාලයක් සේවය කිරීමට කැමැත්ත පළ කොට ඇතැයි හෙතෙම කීය. එහිදී මාධ්‍යවේදියෙකු විමසා සිටියේ අමාත්‍යවරයකුට හිමි වැටුප කොතරම් ද යන්න හා වැටුප සමග දීමනා ද ලබා නොගැනීමේ තීරණයක් ගත්තේ ද යන්න ය.

එයට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන ඒ පිළිබඳව නිශ්චිතව නොදන්නා බව පැවසූ අතර එහිදී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක මනුෂ නානායක්කාර පැවැසුවේ රුපියල් හැටපන් දහසක පමණ වැටුපක් ඇමැතිවරයෙකුට ලැබෙන බව ය.

ඉන්ධන ඇතුළු අනෙකුත් දීමනා නොමැතිව ඇමතිවරයකුට සේවය කළ නොහැකි නිසා වැටුප පමණක් ලබා නොගන්නා බව ද බන්දුල ගුණවර්ධන පැවසීය.

Leave a Reply

Your email address will not be published.