ඇමති කාලේ විමල්ට කල ඇරයුම අවලංගු නොකරයි.. ඔහුගේ ප‍්‍රධානත්වයෙන් ප‍්‍රධාන උත්සවයක්…

‘උන්ඩියල්’ මුදල් වෙළඳපොළට නිදහසේ වැඩෙන්නට ඉඩ දී රුපියල පා කළාම නතරවන ඉම පිළිබඳව කිසිවකුටත් අනාවැකි කීමට බැරි බවත් රුපියල පා කිරීමේ තීරණය ගතයුත්තේ එම කළු මුදල් වෙළෙඳපොළ නිෂ්ක්‍රිය කිරීමෙන් අනතුරුව බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේ (25) කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ප්‍රදර්ශන ශාලා පරිශ්‍රයේදී ඇරැඹී ‘කැදැල්ල කන්ස්ට්‍රක්ෂන්ස් එක්ස්පෝ 2022’ ඉදිකිරීම් හා වාස්තුවිද්‍යා වෙළඳ ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිත දෙසුම සිදු කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

“අසුබවාදී කරුණු අසන්න, දකින්න, විඳින්න සිදුව ඇති මේ වෙලාවේ ඒ අසුබවාදයට සම්පූර්ණයෙන්ම යටත් වෙන්නේ නැතුව, සුබවාදීව මේ රටේ අනාගතය පිළිබඳ චිත්‍රයක් මවන්න මේ ‘කැදැල්ල ඉදිකිරීම් හා වාස්තු විද්‍යා වෙළෙඳ ප්‍රදර්ශනයට’ හැකි වේවා’යි මා පළමුකොටම ප්‍රාර්ථනා කරනවා. මේ වෙළෙඳ ප්‍රදර්ශනය විවෘත කිරීම සඳහා මට ඇරයුම ලැබුණේ මා කර්මාන්ත අමාත්‍යවරයාව සිටියදීයි. මා හිතුවා, අමාත්‍ය ධුරය අහිමි වන විට එම ඇරයුම ද අවලංගු වේවි, කියා. නමුත් සංවිධායකයන් එසේ නොකොට එම ඇරයුම එලෙසම පවතින බව මා හට දැනුම් දුන්නා. ඒ අනුව තමයි මා මෙම අවස්ථාවට සහභාගී වන්නේ.

‘ප්‍රාග්ධන ගිණුම විවෘත කිරීම’

මා හිතනවා අපේ රට මේ වැටී තිබෙන ඉරණමෙන් ගොඩගැනීම අමාරු නැහැ, කියා. සමහර ප්‍රතිපත්තිමය තීරණ තිබෙනවා මීට පෙර ගත යුතුව තිබූ. උදාහරණයක් ලෙස අපේ රටේ ප්‍රාග්ධන ගිණුම පිළිබඳ විමසා බලමු. ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල ‘ප්‍රාග්ධන ගිණුම’ විවෘත කොට නැහැ. ‘ප්‍රාග්ධන ගිණුම’ විවෘත කොට නැති නිසා එම රටවල් කුමන හෝ ආකාරයකින් අපනයනයෙන් උපයන විදේශ විනිමය එම රටවලටම නිශ්චිත කාලයක් තුළ එනවා. නමුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල ඉල්ලීම පරිදි ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේ අපේ රටේ මේ ප්‍රාග්ධන ගිණුම විවෘත කළා. එතැන් සිට ‘අපේ රටේ අපනයන ආදායම මෙපමණ ගණනකින් ඉහළ ගිහිල්ලා’ කියා අප කීවත් ඒ පවසන ගණන ශ්‍රී ලංකාව තුළට එන්නේ නැහැ. ඒ අපනයන ආදායම වෙනත් රටවල තබන්න ඒ අයට පුළුවන්. එම ආදායම වෙන කටයුතු වෙනුවෙන් යොදවන්න පුළුවන්. නමුත් තම රටවල ප්‍රාග්ධන ගිණුම විවෘත කොට නැති ඉන්දියාව බංග්ලාදේශය වැනි බොහෝ රටවල එහෙම කරන්න බැහැ. අඩුම තරමින් විදේශ විනිමය අර්බුදයකට අපේ රට මුහුණ පා සිටින මේ වෙලාවේවත් මොළේ පහළ වන්නේ නැහැ, ‘මේ රටේ ප්‍රාග්ධන ගිණුම විවෘත කරපු එක වෙනස් කරලා, එය පෙර තිබූ තත්ත්වයට පත් කරන්න’. එහෙම කළොත් විතරයි යම්කිසි කෙනෙක් විදේශ විනිමය උපයන ලැබුවහොත් නිශ්චිත කාලයක් තුළ එය මේ රට තුළට එන්නේ.

කළු මුදල් වෙළෙඳපොළ

ඒ අතරේ අපි රුපියල් පා කරනවා, කළු මුදල් වෙළඳපළට වැඩෙන්න ඉඩදීලා. ‘උන්ඩියල්’ කළු මුදල් වෙළඳපොළට නිදහසේ වැඩෙන්න ඉඩදීලා රුපියල පා කරපුවාම කෙළවර වන තැනක් නැහැ. ඩොලර් එක ස්වාභාවිකව රුපියල් 300ක නතර වුණත් කළු මුදල් වෙළෙඳපොළ එය රුපියල් 310 කරනවා. එවිට ඩොලරය රුපියල් 320ටත් එහා යනවා. එම කළු මුදල් වෙළෙඳපොළ නිෂ්ක්‍රීය කරලයි ‘රුපියල පා කරනවාද, නැද්ද?’ කියන තීරණය ගත යුත්තේ. කළු මුදල් ආර්ථිකයට නිදහසේ වැඩෙන්නට දීලා දේශීය මුදල් ඒකකය පා කළාම එය නතර වන ඉම ගැන කාටවත් අනාවැකි පළ කිරීමට බැහැ. රටවැසියන්ගේ හදවත් තුළ තිබෙන ප්‍රශ්න තමයි, ‘මේ උදවියට මේ පුංචි දේවල්වත් තේරෙන්නේ නැද්ද? තේරුණත් මේක මෙහෙම වීමට ඉඩ දී බලා සිටිනවාද?’ යන ඒවා.

ප්‍රමාද වෙලා හරි, අපේ රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා අවශ්‍ය එඩිතර තීරණ ගන්න ඥානය මේ උදවියට පහළ වේවා’යි කියා මා ප්‍රාර්ථනා කරනවා. එසේම අසුබවාදී කරුණු පිළිබඳව අසන්න ලැබෙන මේ වෙලාවේ එයින් වෙනස්ව අපේ රටේ පොදු ජනතාවගේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තිබෙන සිහින සැබෑ කිරීමට ගන්නා උත්සාහය පිළිබඳව ප්‍රදර්ශන සංවිධායකයන් වෙත ස්තූතිය පුද කර සිටිනවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ