ඇඳිරිනීති කාලය තුළ සේවා ස්ථානවලට යා හැක්කේ කාටද ?

දිවයින පුරා පනවා ඇති ඇදිරිනීතීය හෙට උදෑසන 06.00 දක්වා බලපැවැත්වෙයි.

මහජන ආරක්ෂක ආඥාපනතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුව ඊයේ පස්වරු 6.00 සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ඇදිරිනීතීය පැනවීමට රජය පියවර ගනු ලැබීය.

ඇදිරිනීතීය බලපවත්නා කාලය තුළ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යනු ලබන ආයතනවල සේවය කරනු ලබන සාමාජිකයින්ට ඔවුන්ගේ ආයතනික හැඳුනුම්පත හෝ පිළිගත හැකි ඉලෙක්ට්‍රොනික ලියවිල්ලක් ඉදිරිපත්කොට ගමන් කළ හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

ඊට අමතරව ගුවන්තොටුපොළ වෙත ගමන් ගන්නා හා ගුවන්තොටුපොළේ සිට පැමිණෙන මගීන්ට සිය ගුවන් ටිකට්පත ඉදිරිපත් කළ හැකි අතර රාජ්‍යතාන්ත්‍රික, විදේශ දූත මණ්ඩලවල සේවය කරනු ලබන සාමාජිකයින්ට ද ඔවුන්ගේ හැඳුනුම්පත ඉදිරිපත්කොට ගමන් කිරීමේ හැකියාව පවතී.

මේ අතර ඊයේ පස්වරු 06.00 සිට හෙට උදෑසන 06 දක්වා කාලය තුළ අවසරයකින් තොරව පොදු ස්ථානවලට ඇතුළුවීම තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ද ජනාධිපතිවරයා විසින් නිකුත්කර තිබේ.

මහජන ආරක්ෂක ආඥාපනතේ 16වන වගන්තිය යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවරී ඇති බලතලවලට අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් වෙයි.

අදාළ කාලය තුළ කිසිම තැනැත්තෙකු විසින් යම් පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක, වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ නොසිටිය යුතු බව අදාළ ගැසට් නිවේදනයෙන් ප්‍රකාශකර ඇත.

එවන් ස්ථානයකට ගමන් කරන්නේනම් ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා, මහජන ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා හෝ ඔවුන් විසින් බලය දෙනුලබන කවර හෝ නිළධාරියෙකු විසින් නිකුත්කරන ලද ලිඛිත අවසර පත්‍රයක් අවශ්‍ය බව එහි දැක්වෙයි.

මේ අතර ඇදිරිනීතිය ක්‍රියාත්මක කාලය තුළ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.

දුම්රිය සහ බස් රථ සේවාවන් හෙට උදෑසන 06.00 සිට යළි සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.