ආණ්ඩුවේ මර්දනයට එරෙහිව ජනතාවගේ පැත්තේ හිටගන්නවා !

රට දිනෙන් දින ප‍්‍රපාතයටත් අන්ධකාරයටත් ඇද දැමූ ආණ්ඩුවට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලා මේ රටේ ජනතාව අරගල කරන බවත්, එම අරගලයන්ට එරෙහිව ආණ්ඩුව මර්දනය දිගු කරන සෑම මොහොතකම ඊට එරෙහිව විපක්ෂය ලෙස තමන් ජනතාවගේ පැත්තේ හිටගන්නා බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (01) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවසීය.

ජනතාව මොහොතින් මොහොත ජීවත්වීමේ අරගලයක යෙදී සිටින බව පැවසූ විපක්ෂ නායකවරයා ආණ්ඩුව ඒ කිසිවක් මායිම් නොකළ බවද දැන් රට අරාජික වී ඇතැයිද පැවසීය.

ත‍්‍රස්තවාදය වැළැක්වීම වැනි අණපනත් තුළින් ජනතාව මර්දනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව පැවසූ විපක්ෂ නායකවරයා එවැන්නකට කිසිවිටෙකත් ඉඩ නොතබන බවද සඳහන් කළේය.

ජනතා බලාපොරොත්තු සුන්කොට රටට අන්ධකාරය ගෙනා මේ දුර්වල අකාර්යක්ෂම ජනතා විරෝධී ආණ්ඩුව, ජනාධිපතිවරයා ප‍්‍රමුඛව ඉල්ලා අස්වී රට කරගෙන යාහැකි කණ්ඩායමකට භාරදිය යුතු බවද පැවසීය.

මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලවලට පෙනී සිටින අතරේ රාජ්‍ය මර්දනයට හසුවන සියලූ පුරවැසියන්ට පක්ෂ පාට නොසලකා නීතිඥ සහාය නොමිලේ ලබා දීමටත් හයසියකට අධික නීතිඥ පිරිසක් ඒ වෙනුවෙන් සූදානම්ව සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.