අර්බුදය විසඳීමට දෙස් විදෙස් විශේෂඥයන්ගේ සහාය!

රටේ පවතින ව්‍යවස්ථාදායක සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා  දේශීය සහ විදේශීය විශේෂඥයන් පිරිසකගේද  ( දේශපාලන සහ  ව්‍යවස්ථාදායක ) සහය සහ  උපදෙස්  ලබා ගැනීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙයට අමතරව  මෙවැනි අර්බුදවලදී  වෙනත් රටවල්  විසඳුම් ලබාගත් ආකාරය සම්බන්ධයෙන්ද මේ දිනවල   අධ්‍යයනය කරගෙන යන බව  එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන්වූ  ග්‍රන්ථ කිහිපයක්ද මේ දිනවල  පරිශීලනය කරමින් සිටින බව  පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක්  පවසයි.

එසේම විශ්වවිද්‍යාලවල දේශපාලන හා ආර්ථික  විද්‍යා පිළිබඳ ආචාර්ය , මහාචාර්යවරුන් කිහිප දෙනකුගේද  සහාය දැනටමත් ලබාගෙන ඇත.

පවතින අර්බුදය විසඳීම සඳහා  විවිධ පක්ෂවලින් ඉදිරිපත්වී ඇති යෝජනා කිහිපයක් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී  ඉදිරිපත්වී තිබූ අතර ඒ යෝජනා සම්බන්ධයෙන්ද  විශේෂ අවධානය යොමු කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

මේ කරුණු සහ යෝජනා අධ්‍යයනය කිරීමෙන් පසු පැහැදිලි විසඳුමකට පැමිණීමට හැකි වනු ඇතැයිද  කතානායකවරයා සඳහන් කළේය.

රටේ පවතින ආහාර අර්බුදය ඉදිරියේ දී තවදුරටත් උග්‍ර වනු ඇති බවත්  එය උග්‍ර වන්නේ ද  නැතහොත් පාලනය වන්නේද   යන කාරණය තීරණය වන්නේ  පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ හැසිරීම මත බවත්  අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.