අරගලයට ගහන්න රැඳවියන් යැව්වාද? බොරු ගෙතූ කට්ටියට නඩු!

ගාලු මුව‍ෙදාර හා අරලිය ගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවන්හි නිරතව සිටි පුද්ගලයන්ට පහර දීම සඳහා රැඳවියන් යෙදූ බව පවසමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අසත්‍ය ප්‍රචාර ගෙන යමින් තමන්ට මරණීය තර්ජනය හා අපහාස කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

හිටපු බන්ධනාගාර ජයේෂ්ඨ නිලධාරියෙකු හා පසුගිය කාලයේ විවිධ චෝදනාවන්ට ලක්වූ බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙන් ම රාජ්‍ය නොවන සංවිධානවලට සම්බන්ධ පිරිසක් මෙම අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බව ද කොමසාරිස් ජනරාල්වරයා පොලිස්පතිවරයා වෙත දන්වා ඇත.

මෙම ප්‍රහාරය සඳහා රැඳවියන් යොදා ඇති බවට සිදු කෙරෙන චෝදනා සම්බන්ධයෙන් මෙන් ම බන්ධනාගාර රැඳවියන්ට පහර දී එම බස් රථවලට ද අලාභ හානි කිරීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ඉතා කඩිනමින් පවත්වන ලෙස ද කොමසාරිස් ජනරාල්වරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.

වටරැක බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් පිරිසක් රජයේ අවසරය ඇතිව කොළඹ ප්‍රදේශයේ ආයතන වෙත විශේෂ ව්‍යාපෘති සඳහා යොදවා දිනපතා නැවත වටරැක බන්ධනාගාරය වෙත රැගෙන යන බව ද පොලිස්පතිවරයා වෙත දන්වා තිබේ.

ගාලු මුව‍ෙදාර ප්‍රදේශය හා අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවූවන්ට ඉකුත් 9 වන දා කිසියම් පිරිසක් විසින් පහරදී ඇති බව ද එම සිද්ධියෙන් පසු ඇතැම් ප්‍රදේශවල කලහාකාරී සිද්ධීන් ඇතිව තිබූ බව ද ඔහු පවසා තිබේ.

කොළඹ ප්‍රදේශයේ ව්‍යාපෘති කටයුතුවල නිරතව සිටි රැඳවියන් පිරිස එම කටයුතු නිමවීමෙන් පසුව එදින පස්වරුවේ බස් රථ දෙකකින් නැවත වටරැක බන්ධනාගාරය වෙත රැගෙන යන අතරතුර මාලබේ තලාහේන ප්‍රදේශයේ සිටි එවැනි කලහකාරී පිරිසක් විසින් එම බස් රථයක් නවත්වා එහි සිටි නිලධාරීන්ට හා රැඳවූවන්ට අමානුෂික ලෙස පහර දී තුවාල සිදුකර ඇති බව ද එහිදී ජීවිතාරක්ෂාව සඳහා රැඳවියන් පිරිසක් පළා ගොස් ඇති බවද ඔහු පෙන්වා දී ඇත.

ගාලු මුව‍ෙදාර හා අරලියගහ මන්දිරය ප්‍රදේශවල විරෝධතාවන්හි නිරතව සිටි පුද්ගලයන්ට පහර දී මෙම රැඳවියන් පිරිස ආපසු යන බවට ඇතිකරගත් සැකයක් මත මාලබේ ප්‍රදේශයේදී කලහකාරී පිරිස් ඔවුන්ට අමානුෂික ලෙස ප්‍රහාර සිදුකර ඇති බව ද කොමසාරිස්වරයාගේ ලිපියේ සඳහන් ය.

මෙම ව්‍යාපෘති කටයුතු සඳහා රැඳවියන් 181 දෙනෙකු යොදවා සිටි බවත් ඉන් 23 දෙනෙකු හැර සෙසු පිරිස බන්ධනාගාර භාරයේ මේ වන විට පසුවන බව ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් වටරැක බන්ධනාගාර අධිකාරිවරයා ද මීගොඩ පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇති බව ද කොමසාරිස් ජනරාල්වරයා සිය ලිපිය මගින් පොලිස්පතිවරයා වෙත වැඩිදුරට ත් දන්නවා තිබේ.

Leave a Reply

Your email address will not be published.