අතුරුදන් දැරිය ටික්ටෝක් කොල්ලා හොයාගෙන මුලතිව් සිට හැටන් ගිහින්!

මුලතිව්, මූංකිලාරු ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි පාසල් දැරියක අතුරුදන්ව ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව කළ පරීක්ෂණවලදී අදාළ දැරිය හැටන් ප්‍රදේශයේ සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.

අදාළ පාසල් දැරිය පිළිබඳව දැරියගේ පියා ඊයේ (ජූනි 06) දින පොලීසියට දැනුම් දී ඇත්තේ, දැරිය ලිපියක් ද ලියා මුදල් සහ ජංගම දුරකතනය ද රැගෙන නිවසින් අතුරුදන් වී ඇති බව ය.

දැරිය ලියන ලද බවට සැක කෙරෙන ලිපියේ සඳහන් කොට ඇත්තේ, “තාත්තේ මට සමාවෙන්න. මම මේ ගෙදර දාලා යනවා. මාව හොයන්න මහන්සි වෙන්න එපා අවශ්‍ය නම් මේ අංකයට ඇමතුමක් දෙන්න,” යනුවෙන් බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත්, දැරියගේ පියා ඇතුළු පොලිසිය අදාළ දුරකතන අංකයට ඊයේ දින සිට ඇමතුම් ලබා ගත්ත ද එය ක්‍රියා විරහිත කොට තිබීම හේතුවෙන් සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇති අතර අද (ජූනි 07) දිනය වන විට දැරිය සම්බන්ධ කර ගැනීමට හැකි වූ බවට පොලිසිය පැවසීය.

දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව අදාළ පාසල් සිසුවිය ගොස් ඇත්තේ, හැටන් ප්‍රදේශයට බව ත් සමාජ මාධ්‍ය ජාලයක් වන ටික් ටොක් වෙතින් කිසියම් පිරිමි පුද්ගලයෙකු දැන හැඳින ඇති වූ සම්බන්ධතාවක් මත අදාළ පිරිමි පුද්ගලයා හමු වීමට බවට සැක පලකරන බව ත් පොලිසිය සඳහන් කළේ ය.

පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ, දැරියගේ පියා ඇතුළු ඥාතීන් දැරිය සොයා අද (ජූනි 07) දිනයේදී නැවත නිවසට රැගෙන ඒමට පියවර ගෙන ඇති බව ය.

ශෂි කුමාර් – මුලතිව්

Leave a Reply

Your email address will not be published.