ආහාර, ඉන්ධන, පොහොර, ඖෂධ හිඟය වහා විසඳීමට රනිල් කරපු වැඩේ!

අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා හිඟය කඩිනමින් නැතිකොට ජනතා අවශ්‍යතා ඉටු කිරීමට අවශ්‍ය යෝජනා ලබාගෙන ඒවා වහා ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ කමිටුවක් පත් කර තිබේ.

ඒ අනුව, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ජනතාවට සැපයීම සඳහා ඊට අදාළ අංශ සමග සාකච්ඡා කර එම ගැටලු නිරාකරණය කිරීමේ වගකීම එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන සහ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහත්වරුන්ට පවරා තිබේ.

ඊට අමතරව, ඖෂධ හිඟයට පිළියම් සෙවීම සඳහා එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පත් කර ඇති අතර, පොහොර අර්බුදය විසඳීමේ වගකීම එජාප උප නායක අකිල විරාජ් කාරියවසම් මහතාට පවරා ඇත.

පෙට්‍රල්, ඩීසල් ආදී ඉන්ධන සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා පත් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා අප කළ විමසුමකදී ප්‍රකාශ කළේ, අදාළ අංශවල ආනයනකරුවන් සහ බලධාරීන් සමග අද පස්වරුවේ සාකච්ඡාවක් කැඳවා ඇති බව ය.

එම සාකච්ඡාවේදී ලැබෙන යෝජනා සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීම සඳහා හෙට දිනයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව ද ඔහු පැවසීය.

ජනතාව මුහුණ දී සිටින ගැටලු ඉක්මනින් නිරාකරණය කිරීම මෙහි අරමුණ බව ද මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published.