කොවිඩ් – 19 වසංගත රෝගය පාලනය සම්බන්ධව ශ්‍රී  ලංකාව ලොව අනෙකුත් රාජ්‍යයන්ට වඩා ප්‍රගතියක් අත්කර ගෙන සිටින බව සැබෑය. රෝගය පැතිරීම සම්බන්ධ දත්ත සටහනේ ප්‍රස්තාරය ඉහළ නඟින්නට ඉඩ නොදී පැතලි රේඛාව තබාගන්නට අපට තවමත් හැකිවී තිබේ. එය සැනසිල්ලට හේතුවකි. එහෙත් යම් හෙයකින් තත්ත්වය පාලනය කරගත නොහැකිව රෝගය සමාජගත වුවහොත් ලංකාවේ අපට අත්වන ඉරණම ඉතාලියට නොදෙවැනි වනු ඇත.

ඊට පළමු හේතුව වන්නේ අපේ සෞඛ්‍ය සේවාවේ ධාරිතාව එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය හා සසඳන කල බොහෝ ප්‍රාථමික තත්ත්වයක පැවැතීමය. අප දැනට ඉදිරියෙන් සිටින්නේ මේ වන තුරු තත්ත්වය පාලනය කරගන්නට සමත් වූ නිසාය. අපේ සීමා බන්ධන බිඳගෙන වයිරසය දෝරෙ ගලා ගියහොත් අපට එතැන් සිට කිසිවක් පාලනය කරගත නොහැකි ව්‍යසනයකට ගොදුරු වීමට සිදුවනු ඇත.

ඕනෑම රාජ්‍යයක රෝහල් පද්ධතියට දරාගත හැකි රෝගීන් සංඛ්‍යාවක් නියමව ඇත. එරට සෞඛ්‍ය සේවාවේ ධාරිතාව වන්නේ එයයි. රෝහල් ඇඳන්, වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩල සහ ශල්‍යාගාර, අධිසත්කාර ඒකක (ICU) යටකී ධාරිතාවට අයත්ය. ඇමෙරිකාව, ඉතාලිය වැනි රාජ්‍ය එම සම්පත් අතින් අපට වඩා අතිශයින් පොහොසත්ය. එහෙත් ඇමෙරිකාවට සිදුවූයේ කොවිඩ් – 19 කල් ඇතිව පාලනය කර නොගැනීම හේතුවෙන් රෝගීන් සංඛ්‍යාව 1,42,000 ඉක්මවා ඉහළ යෑමය. ඉතාලියේ ආසාදිතයන් සංඛ්‍යාව 97,000 දක්වා ඉහළ නැංගේය.

රෝගීන් වැඩි වීම එම රටවල සෞඛ්‍ය සේවාවන්හි සුපිරි ධාරිතාවට දරාගත නොහැකි විය. කොරෝනා වයිරසය සුනාමියක් මෙන් ඇමෙරිකාවේ ජනපද 50ක් පුරා කෙටි දින ගණනක් තුළ  පැතිර ගියේය. ඉතාලියටත් සිදුවූයේ එයමය. තත්ත්වය පාලනය කර ගත හැකි වූයේ චීනයට පමණය. රෝගීන් සිය ගණනින් රෝහල් ඇඳන් නෑ. වෛද්‍යවරු නෑ. දැඩි සත්කාර ඒකකත් නෑ. ඒවායේ උපරිම ධාරිතාව ඉක්මවා ගොසිනි. එතැන් සිට සිදුවූ මරණ සංඛ්‍යාව ඉහළ යෑමය. ඉතාලියේ එක් දිනකට 800,900 මිය යන්නේ ගලා එන රෝගීන් සංඛ්‍යාවට ප්‍රතිකාර කරගත නොහැකිවීමෙනි. ඒ අතර වෛද්‍යවරු, හෙදියන්ද අනෙකුත් රෝහල් කාර්ය මණ්ඩලද රෝගයට ගොදුරු වන අතර ඔවුහුද මරණයට පත් වෙති. එතැනින් ඔබ්බට වයිරසය කිසිදු බාධාවකින් තොරව තව තවත් ව්‍යාප්ත වේ. තත්ත්වය මුලදීම පාලනය කළයුතු වන්නේ මේ බිහිසුණු අවස්ථාවට මුහුණදීමට ලංකාව වැනි රටකට කිසිසේත් නොහැකි නිසාය.

මෙහිදී අවධානය යොමු කළ යුතු තවත් වැදගත් කරුණක් තිබේ. කොරෝනා වයිරසය පහර දෙන්නේ මිනිසාගේ ශ්වසන පද්ධතියටය. වෛද්‍ය මතය වනුයේ දින කිහිපයක් තුළ රෝගියා අසාදය නියුමෝනියා තත්ත්වයකට පත්වන බවය. වයිරසයට මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හැඩ ගැසෙන තුරු අවම දින 8ක් ඔරොත්තු දී සිටින්නට රෝගියාට සිදුවේ. වයස් ගත රෝගීන්ට එම නිව්මෝනියා තත්ත්වයට ඔරොත්තු දෙන්නට කිසිසේත්ම හැකියාවක් නැත. දියවැඩියාවට අධි රුධිර පීඩනය වැනි ආබාධ සහිත රෝගීන් සම්බන්ධයෙන් පවතින තත්ත්වය එයමය. 

එම අවස්ථාවේදී රෝගියාගේ ජීවිතය රැකගත හැක්කේ කෘත්‍රිම ශ්වසන ආධාරකයකට රෝගියා සම්බන්ධ කිරීමෙන් පමණි. ඒ සඳහා වෛද්‍ය විද්‍යාව හඳුන්වාදී තිබෙන තාක්ෂණික උපකරණය වන්නේ වෙන්ටිලේටරයයි Ventilator). යාන්ත්‍රක වාතාශ්‍රය ලබාදෙන උපකරණය ලෙසද එය හඳුන්වයි. ‘කොවිඩ් – 19’ නව කොරෝනා වයිරසය ආසාදනය වීමේදී වැදගත්ම මෙවලම වන්නේ එයයි. අනෙක් පහසුකම් මොනවා තිබුණත් වෙන්ටිලේටර් නැති නම් වයස්ගත රෝගීන්ගේ මරණය නිසැක ලෙසම තීන්දු වේ.

වෙන්ටිලේටර් නැතිනම් විශේෂඥ වෛද්‍යවරයාට රෝගියා වෙනුවෙන් ගත හැකි වෙනත් පියවරක් නැත. Ventilator තිබෙන්නේ සීමිත ප්‍රමාණයක් නම් ප්‍රමුඛතාවය තෝරා ගන්නට වෛද්‍යවරුන්ට සිදුවේ. එවිට ළමයින් සහ තරුණ දරුවන්ට ප්‍රමුඛතාවදී වයෝවෘද්ධ තැනැත්තන් පසෙකට කිරීමේ අප්‍රසන්න තීන්දුව ගැනීමට වෛද්‍යවරුන්ට සිදුවේ. ඉතාලියේ එක් දිනකදී 900ක් මියගියේ මේ තත්ත්වය නිසාය.

කොරෝනා වසංගතය එන විට නිව්යෝර්ක් නගරයේ රෝහල්වල Ventilatores තිබුණේ 4000ක් පමණක් බව සඳහන් විය. එම ප්‍රමාණය 9000ක් කරන්නට ජනාධිපති  ට්‍රම්ප් පියවර ගත්තේය. නමුත් අවශ්‍යතාව ලක්ෂයක් දක්වා ඉහළ ගියේය. නමුත් වෙන්ටිලේටර් මිලදී ගන්නට මේ අවස්ථාවේ ලොව කිසිදු රාජ්‍යයක නැත. ඇමෙරිකාවේ සුප්‍රකට සමාගම් වන ජෙනරල් මෝටර්ස්, ටෙස්ලා, ෆෝර්ඩ් සමාගම්වලට ජනාධිපති ට්‍රම්ප් නියෝග කළේ මෝටර් රථ නිෂ්පාදනය නවතා වහාමVentilatores නිෂ්පාදනයට යොමු වන ලෙසය. එම සමාගම් වහාම සෞඛ්‍ය මෙවලම් නිපදවන සමාගම් සමඟ ඒකාබද්ධ කරන ලදී. මෙහිදී ජනාධිපති ට්‍රම්ප් භාවිතයට ගත්තේ සීතල යුද සමයේ සම්මත කොට තිබූ ආරක්ෂාව සඳහා වන නිෂ්පාදන පනතය. 

එයාර් බස් සහ රෝල්ස් රොයිස් සමාගම් ඇතුළු සමාගම් 14ක එකතුවක් වෙත මහා බි්‍රතාන්‍යය වෙන්ටිලේටර් චැලේන්ජ් යන්ත්‍ර සඳහා අනුමැතියක් ලබාදී ඇත. එක්සත් රාජධානියේ තිබූ වෙන්ටිලේටර් සංඛ්‍යාව 8175කි. සති කිහිපයකින් එම ප්‍රමාණය 30,000 දක්වා වැඩි කිරීමට  බි්‍රතාන්‍ය සූදානම් වේ. ලෝකයේ සුප්‍රකට සමාගම් වන එයාර් බස්, රෝල්ස් රොයිස්, බී.ඒ.ඊ. සිස්ටම්, ෆෝඩ්, මැක්ලරන්, ජී.කේ.එන්, මෙගිට්, රෙනීෂෝ, අල්ට්‍රා ඉලෙක්ට්‍රොනික්, ඇස්ටන් මාටීන් මර්සඩීස්, ඒ.එම්.ජී. රෙනෝල්ඩ් යන මෝටර් රථ නිෂ්පාදන සමාගම් Co-Vent නිෂ්පාදනයට අත ගසා තිබේ. මානව වර්ගයා කොවිඩ් – 19 විපතින් මුදා ගැනීමට බේතක් සොයා ගෙන නැත. ඊට දායක වීමට හැක්කේ කෘත්‍රිම ශ්වසනය ලබාදෙන Ventlator වලට පමණි.

වෙන්ටිලේටර්ස් සම්බන්ධයෙන් ලංකාවේ පවතින සැබෑ තත්ත්වය කුමක්ද? අප සිටින්නේ භයානක සහ අසරණ තැනකය. 2012 වර්ෂයේ කරන ලද සමීක්ෂණයකට අනුව මෙරට රෝහල්වල වෙන්ටිලේටර් සහිත දැඩි සත්කාර ඒකක තිබුණේ 51කි. ශික්ෂණ රෝහල්වල 27ක්, පළාත් රෝහල්වල 15ක්, මූලික රෝහල්වල 9ක් වශයෙනි. පසුගිය දිනවල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර තිබුණේ ලංකාවේ ඇති වෙන්ටිලේටර් ප්‍රමාණය 500ට අඩු බවය. දැනටත් පවතින එම උපකරණවලින් 90%ක්ම තිබෙන්නේ වෙනත් රෝගීන්ට සම්බන්ධකොටය. කොවිඩ් – 19 රෝගීන් සඳහා සම්බන්ධ කිරීමට අමතර වෙනත් වෙන්ටිලේටර් ලංකාවේ නැත. පේරාදෙණිය වෛද්‍ය විද්‍යාලය වෙන්ටිලේටර් නිපදවන වැඩසටහනක් ආරම්භ කළ බව අගමැතිවරයා නොබෝදා ප්‍රකාශ කළේය. මේ සම්බන්ධව ලියුම්කරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු සඳහන් කළේ, කොතලාවල වෛද්‍ය පීඨයෙන් හා තවත් රෝහල් කිහිපයකින් මේ වෙන්ටිලේටර් ලබාගෙන වසංගත රෝග මර්දන ආයතනයේ අවශ්‍යතා සපුරන බවයි. 

මේ සියලු කරුණු අනුව පැහැදිලි වන්නේ රෝගය පැතිරීම වළක්වා ගන්නට අප අසමත් වුවහොත් ලංකාවේ ඉතිහාසයේ මුහුණ දෙන බිහිසුණුම ඛේදවාචකයට ගොදුරු වන බවයි. වෙන්ටිලේටරයක සාමාන්‍ය මිල ඇ.ඩො. 15,000 සිට 27,000 දක්වා වේ. නමුත් ඒවා මේ මොහොතේ මිලදී ගන්නට තැනක් නැත. ඕනෑම ප්‍රබල රාජ්‍යයක් වුවත් වෙන්ටිලේටර් ඉතා සුළු ප්‍රමාණයක් තබාගෙන සිට ඇතත් සාමාන්‍ය තත්ත්වයන් යටතේ අවශ්‍ය වන ප්‍රමාණය පමණි. දහස් ගණනින් වෙන්ටිලේටර් අවශ්‍යව ඇත්තේ කොවිඩ් – 19 වසංගතය පැමිණි නිසාය. 

මේ තරගයේදී අපට ස්ථානයක් නැත. අපට දිනිය හැක්කේ රෝගය පැතිර යෑම වැළැක්වීමෙන්ම පමණි. වයිරසය පැතිර ගියහොත් අප මුහුණ දෙන තත්ත්වය සිතා ගත යුත්තේ ඉතාලිය ආදර්ශයට ගනිමිනි. මෙරට ජන ජීවිතය රැකෙනවාද නැද්ද යන්න තීරණය වන්නේ දැනටමත් සෞඛ්‍ය බලධාරීන් දී ඇති උපදෙස ජනතාව පිළිපදිනවාද නැද්ද යන කරුණ මතය. නිවෙසේ රැඳී සිටීම හැර වෙනත් විකල්පයක් මේ මොහොතේ අපට නැත.