සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදුන් උපදෙස් නොතකා ක්‍රියාකල ගර්භනී කාන්තාවක් නිසා පානදුර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක් මුද්‍රා තැබීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙනවා. ඒ එම රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි අදාළ ගර්භණි කාන්තාවට කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි.

පානදුර ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවගේ නිවසට විදේශ රටක සිට මෙරටට පැමිණි ඥාතීන් පිරිසක් නතරව සිට පිටව ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමෙන් අනතුරුව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් එම කාන්තාවගේ නිවසට ගොස් ඇයට දින 14ක කාලයක් ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම් දී තිබෙනවා.

කෙසේ නමුත් සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් උපදෙස් ද නොතකා මෙම කාන්තාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකටම ගොස් ඇති අතර මිට දින කිහිපයකට ඉහතදී පානදුර ප්‍රදේශයේ පිහිටි අදාළ පෞද්ගලික රෝහලේ මාතෘ සායනයකට ද එක්ව ඇත්තේ සිය සත්‍ය තත්ත්වය සඟවමින් බවයි සඳහන් වන්නේ.

එහිදී මෙම ගර්භණි කාන්තාවට  කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බැවින් පසුව ඇය IDH රෝහලට ඇතුලත් කර තිබූ අතර එහිදී සිදුකළ පරීක්ෂණයේදී ඇයට කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරුවී තිබුණා.

ඒ අනුව එම කාන්තාව මාතෘ සායනය සඳහා පැමිණි පානදුර ප්‍රදේශයේ පිහිටි අදාළ පෞද්ගලික රෝහල මුද්‍රා තැබීමට පොලිසිය සහ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබූ අතර එහි කාර්ය මණ්ඩලයටද ස්වයං නිරෝධායනය වන ලෙස උපදෙස් ලබාදි ඇති බව සඳහන්.