වෙළඳ දැන්වීම් අධ්‍යක්ෂවරයෙක්, ගීත රූප රචනා අධ්‍යක්ෂවරයෙක් ලෙසත් වැඩ කටයුතු කරන ප්‍රියංග රණසිංහ විටින් විට කතාබහට ලක්වූ ගීත රැසකම රූප රචනා නිර්මාණකරුවෙක්. බොහෝ දෙනා අතර දෝශාරෝපණයටත්, ආදරයටත් ලක්වූ ‘iraj productions’ ආයතනයෙන් නිර්මාණය වූ ගීත රැසකම රූප රචනා අධ්‍යක්ෂකවරයා වන්නේ ප්‍රියංගයි. වසර ගණනාවක් පුරාවටම ක්ෂේත්‍රය තුළ විවිධ ඉසව් නියෝජනය කරමින් සිටින ප්‍රියංග රණසිංහව කතාබහකට එකතු කරගන්නට අප සිතුවෙමු.

ප්‍රියංග මේ දිනවල වැඩකටයුතු ගැන කිව්වොත්?

මගේ වෙළඳ දැන්වීම් වැඩකටයුතු කරගෙන යනවා. ඊට අමතරව අළුතෙන් නිර්මාණය කළ ගීත දෙක තුනක් එළි දක්වන්න තිබෙනවා. ඒ වගේම සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන්නත් පොඩි සැලැස්මක් තිබෙනවා.

ඔබ සමාජය කතාබහට ලක්කළ ගීත රැසකම රූප රචනා අධ්‍යක්ෂකවරයෙක්?

ඔව්. ‘මම සිල් බිඳ ගත්තේ’, ‘ආශාවරී’ සහ මේ දිනවල ඉතා ජනප්‍රිය ‘කතිරිනා’ වැනි ඉරාජ් ප්‍රඩක්ෂන් ආයතනය විසින් නිර්මාණය කරන ගීත රැසකම රූප රචනා නිර්මාණ කළේ මම විසින්. ඔය අතරින් මුලින්ම කතාබහට ලක් වෙන්න පටන් ගත්තේ ‘මම සිල් බිඳ ගත්තේ’ කියන ගීතයයි.

ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා කොපමණ කල් වෙනවාද?

මගේ පලවෙනි වීඩියෝ එක නිර්මාණය කළේ මට වයස අවුරුදු දහ නවයේදී. ඒත් ඉරාජ් වීරරත්නගේ ගීතයකට.

ඔබේ බොහෝ නිර්මාණ තුළ නිරුවත සහ අඩ නිරුවත අඩංගුයි. නිරුවත තුළින් ගීතය මාර්කට් කරන්නද උත්සාහ කරන්නේ?

හැම නිර්මාණයකටම නිරුවත හෝ අඩ නිරුවත යොදාගෙන නැහැ. සිල් බිඳගත්ත ගීතයට බොහෝ දෙනා බැන්නේ ඒකේ තිබුණු ලිප් කිස් එකක දර්ශනයකටයි. නමුත් කිස් කරනවා කියන එක දැන් සමාජයේ සාමාන්‍යකරණයට ලක්වෙලා තිබෙන්නේ. මගේ නිර්මාණ එකිනෙකට වෙනස්. එකම දේ හැම එකකටම අරගන්නේ නැහැ. සිල් බිඳ ගත්ත ගීතයෙන් පසුව මම නිර්මාණය කළ කිසිම වීඩියෝවකට කිස් කරන දර්ශන යොදාගත්තේ නැහැ.

අපි ගීත නිර්මාණය කළේ සෝෂල් මීඩියාවලට මිසක් ප්‍රසිද්ධ මාධ්‍යයට නෙවෙයි. සෝෂල් මීඩියාවලත් අපට විවිධ නීති රීතීන් තිබෙනවා. ඒවායේ අපිට වීඩියෝවක අන්තර්ගත කරන්න පුළුවන් මොනවාද, අන්තර්ගත කරන්න බැරි දේවල් මොනවාද කියලා තිබෙනවා. සාමාන්‍යයෙන් ලෝකයේ ‘නිරුවත් දර්ශන’ කියන දේ අර්ථ දැක්වන විදිහ දිහා බැලුවොත් අපේ විඩීයෝවල නිරුවත් දර්ශන අන්තර්ගත වෙලා නැහැ. අපි ඒ මට්ටමට අපේ නිර්මාණ ගෙනත් නැහැ. අත්, කකුල් හෝ බඩ පෙනෙනවා කියන එක නිරුවත් දර්ශනයක් කියලා මම දන්නේ නැහැ. අපේ මිනිස්සුන්ගේ තිබෙන ප්‍රශ්නය කුතුහලය වැඩි කමයි. ඔවුන් බලන හෝ ඔවුන් ඔළුවට දාගන්න විදිහෙයි ගැටළුව තිබෙන්නේ.

රූප රචනා අධ්‍යක්ෂවරයෙක් කියන්නේ තිරයෙන් පිටුපස විශාල වගකීමක් සිදු කරන චරිතයක්. ඒ වගකීම මොන වගේද?

ඔය ප්‍රශ්නයට මෙහෙම උත්තරයක් දෙන්නම්. ගීතයක් ඇති කරන්නත් නැති කරන්නත් විඩීයෝ ඩිරෙක්ටර් කෙනෙකුට පුළුවන්. ඒ වගේම සමාජය යන පැත්ත වෙනස් කරන්න, සමාජය හරි පැත්තට ගන්න, වැරදි පැත්තට ගන්නත් ඩිරෙක්ටර් කෙනෙකුට හැකියාව තිබෙනවා.

ඉරාජ් වීරරත්නගේ ළඟම හිතවතෙක් විදිහට ඔබ ඉරාජ්ව දකින්නේ කොහොමද?

මම ඉරාජ් එක්ක අවුරුදු 10ක විතර ඉඳලා වැඩ කරන්නේ. මම ඔහුගෙන් බොහෝ දේ ඉගෙනගෙන තිබෙනවා. පිටින් මිනිස්සු මොනවා කිව්වත් මනුස්සයෙක් විදිහට ඉරාජ් කියන්නේ නිහතමානී පුද්ගලයෙක්. ඕන ප්‍රශ්නයකදී, අසාධාරණයකදී අපි වෙනුවෙන් කතා කරන, අහිංසක මිනිස්සුන්ට හැමතිස්සෙම උදව් කරන චරිතයක්. ඒක මිනිස්සු දකින්නේ වැරදි. ඔහුගේ මාකටින් පැත්ත වෙනම දෙයක්. පෞද්ගලිකත්වය, දක්ෂතාවය සහ හැකියාව පටලවගෙන තමයි මිනිස්සු ඉරාජ්ට බනින්නේ. අපි එළියේ සුදු සහ කළු චරිත දකිනවා. බොහෝ සුදු චරිතවල ඇතුළේ දකින්න බැරි ගොඩක් හොඳ දේවල් කළු චරිතයක් විදිහට සමාජය හඳුන්වන ඉරාජ් ඇතුළේ තිබෙනවා.

ඉරාජ් එක්ක වැඩ කරනවාට දෝශාරෝපණ ඇවිත් නැද්ද?

සමාජයේ අපි මේ වෙලාවේ කතා කරන්න ඕන, ඒත් කතා කරන්න බය දේවල් බයක් නැතුව එළිපිට කතා කරන එකට තමයි මිනිස්සු ඉරාජ්ට බනින්නේ. මම වැඩ කරන විදිහ මම දන්නවා නම්, මම වැඩ කරන්නේ සතුටින් නම්, ඇතුළාන්තය මම දන්නවා නම් මට කාගෙවත් කතාවක්, අවවාදයක් වැඩක් නැහැ.

පසුගිය කාලයේ රටේ දේශපාලනය ගැන ගීත හැදුවා?. ඔබ එක්තරා පක්ෂයකට කඩේ යනවාද?

අපෝ නැහැ. පක්ෂයකට කඩේ යන්නේ නැහැ. අපි රට වැටුණු තත්ත්වයෙන් ගොඩ එන්න, රට කොහොමහරි පරිස්සම් කරගන්න ඕන කියන හැඟීමෙන් වැඩ කරේ. ඒ වෙනුවෙන් අපි විවිධ නිර්මාණ හැදුවා. කිසිම පක්ෂයකට කඩේ ගියේ නැහැ. අපි තව අවුරුදු ගාණකින් රට නැති කරගන්නවාද?, රට දියුණු කරගෙන ඉස්සරහට යනවද කියන එක ගැන අපි හිතුවා.

නමුත් ඔබලා විවිධ පක්ෂවලට, චරිතවලට අපහාස කරමින් වීඩියෝ හැදුවා?

මෙහෙමයි. සමහර වෙලාවට රටේ සමහර අය හෝ දේශපාලන පක්ෂ වැරදි මාර්ගවල ගියා. අපි හදන නිර්මාණයක් කිසිවෙකු තමන්ට අදාළ කරගන්නවා කියන්නේ ඔහු එම වැරදි කරලා තියෙනවා කියන එකයි. තමන් වැරැද්දක් කරලා නැතිනම් බය වෙන්න දෙයක් නැහැනේ. අපි කාටවත් මඩක් ගැහුවා කියලා කියන්නේ අපි කරලා තියෙන්නේ ඇත්ත දේ එළි කරන එකනේ. සමහර විට ඒ අය කරපු මෝඩකම් එක්ක එයාලටම අපි රට බාර දුන්නා නම් අද අපිට කතා කරන්න හෝ අවස්ථාවක්, ඉඩක් නැතිවෙන්න තිබුණා.

ඒ ගත්තු මහන්සියේ ප්‍රතිපලයක් තිබෙනවා කියලා හිතනවාද?

මෙහෙමයි. දැනට දකින විදිහට රට යම්කිසි හොඳ පැත්තකට ගමන් කරනවා. මම හිතන්නේ නැහැ ඒක දවසින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් කියලා. ඒකට යම්කිසි කාලයක් ගතවෙනවා. දැනට පේන විදිහට රට පහුගිය අවුරුද්දේ තිබුණට වැඩිය හොඳට තිබෙනවා කියලා කියන්න පුළුවන්. අපි කාලයට ඉඩ දීලා බලාගෙන ඉමු.


කැළුම් දේවින්ද – www.saaravita.lk