මැණික්වල වර්ණය වැඩි දියුණු කිරීමේ සේවාව, මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නියැලුණු ජනතාවට ලබා දීම පිණිස 2014 වසර අගභාගයේ ගෙන ආ විදුලි උඳුන, පසුගිය ආණ්ඩුවේ වසර හතරහමාරක පාලන කාලය තුළ සවි කිරීමටවත් කටයුතු නොකිරීමෙන් පෙනී යන්නේ එම ආණ්ඩුවේ අකාර්යක්‍ෂමතාව හා මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නියැලෙන ජනතාවට දැක්වූ අඩු සැලකිල්ල යැයි කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ (11) රත්නපුර මැණික් මධ්‍යස්ථාන පරිශ්‍රයේ මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනයට අයත් ‘ගෙවුඩ සේවා පියස’ විවෘත කිරීමෙන් අනතුරුව උත්සව සභාව අමතමිනි.

 ගෙවුඩ සේවා පියස තුළ සවිකර ඇති ඉහත විදුලි උඳුන නිල වශයෙන් ක්‍රියාත්මක කිරීම ද මෙහිදී අමාත්‍යවරයා අතින් සිදු විය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“කොරෝනා වෛරසය පසුගිය අවුරුදු හතරහමාර තුළ පැතිර ගියා නම් හිටපු පාලකයන් මොනවා නොකරයි ද? ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලය ගෙදරින් එළියටවත් නොබැස සිටීවි.  රට පුරා කොරෝනා වෛරසය වේගයෙන් පැතිර යාවි.

නමුත් අපට අද නිවැරදි නායකත්වයක් යටතේ රටක් ලෙස කොරෝනා වෛරසයට සාර්ථකව මුහුණ දීමට හැකිව තිබෙනවා. චීනයේ සිටි ලාංකික සිසුන් නොබියව ගෙන්වා ගත්තා පමණක් නොවෙයි, ඔවුන්ව සාර්ථකව නිරෝධනයට ලක් කළා. වෛරසය නිසා රෝගී වූ චීන කත සුවපත් කළා.”