ලබන මාර්තු මාසේ තුන්වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරලා පාර්ලිමේන්තු මැතිවරණයකට ගොස් තුනෙන් දෙකක විශිෂ්ට ජයක් ලබාගෙන ජනතාවට අවශ්‍ය සේවාවන් ඉටුකරන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම පවසයි.

ඇමැතිවරයා මෙසේ පැවැසුවේ පසුගිය 08 වැනිදා පූජාපිටිය අර්ල්ඩ් රෙඩ් සංචාරක නිකේතනයේදී පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හාරිස්පත්තුව ආසන බල මණ්ඩලයේ රැස්වීමට සහභාගිවූ පිරිස අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ අමාත්‍යවරයා,

“පසුගිය කාලය තුළ අපිට සියලු දේ ගැන සැකයෙන් ජීවත් වෙන්න සිදුවුණා. අපිට මොනවා වේවිද රටට ජාතියට ආගමට මොනවා වේවිද කියල. ඒ අයුරින් සැකයෙන් ජීවත්වූ යුගය පසුගිය නොවැම්බර් මාසයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසුව අවසන් වුණා. අපි ජනාධිපතිවරණය ජයගෙන මාස තුනක් අයවැයක් නැතිව පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතිවයි කරගෙන යන්න වෙලා තියෙන්නේ. හොඳ වෙලාවට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දිනලා මාස තුනයි ඉතිරි වුණේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන් වෙන අවස්ථාවට. බැරිවෙලාවත් අවුරුද්දක් විතර තිබුණා නම් රටට අයවැයක් කොහෙන්ද. රජයේ සේවකයන්ගේ පඩිනඩි ගෙවන්න මුදල් කොහෙන්ද. මුදල් අනුමත කර ගන්න ක්‍රමයක් නැහැ. දැන් ජනාධිපතිතුමා රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරගෙන යනවා. උපාධිධාරින් පනස්හතර දහසකට රැකියා ලබා දෙන්න කටයුතු කරල තිබෙනවා. දුප්පත් පවුල්වල අයට රැකියා ලක්ෂයක් ලබාදෙන්න කටයුතු කරල තිබෙනවා. ලබන මාර්තු 03 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මහ මැතිවරණයකට ගිහින් තුනෙන් දෙකේ බලයක් ලබාගෙන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අකුරටම ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා. මේ මැතිවරණයේදී මනාප ප්‍රශ්නයක් නෙමෙයි අපට තිබෙන්නේ. අපට තිබෙන්නේ තුනෙන් දෙකේ බලයක් ලබාගෙන ජයග්‍රහණය කිරීමයි” යනුවෙන්ද පැවැසීය.

මෙම අවස්ථාවට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාද සහභාගි වූ අතර පැමිණි සිටි පිරිස අමතමින් ඔහු මෙසේ පැවැසීය.

“පසුගිය එක්සත් ජාතික පක්ෂ රජය ජනතාවට පටි තදකරගන්න කියල ඇමැතිවරුන්ට කෝටි හතර පහ වටිනා වාහන ගෙන්වලා තිබෙනවා .

අපිට මේ රට ගොඩ ගන්න සැලැස්මක් තිබෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න තමයි ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඉල්ලා සිටින්නේ. මධ්‍යම අධිවේගයේ කොන්ත්‍රාත්තුව එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරයකුට දීල ඒක කරල නැහැ. ඇමැතිවරයා අඩුම ගානේ ගෙවපු අත්තිකාරම් මුදලවත් ආපසු ලබාගෙන නැහැ.

දැන් පාර්ලිමේන්තු මහ මැතිවරණය ළඟ එනවා. ශක්තිමත් පාර්ලිමේන්තුවක් අපි හදන්න ඕන. අද කතිකාවක් ඇතිවෙලා තිබෙනවා අපි පොහොට්ටුවෙන් තනිවම ඉදිරිපත් වෙනවා ද නැතිනම් ශ්‍රීලනිපයත් එක්ක සන්ධාන ගතවෙලා ඉදිරිපත් වෙනවද කියල. හැබැයි මොන විදිහට ඡන්දෙකට ගියත් අපේ ලකුණ පොහොට්ටුව කියලා වගකීමෙන් කියනවා.

මෙම අවස්ථාවට සහභාගීවූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ සෙනෙවිරත්න, හිටපු පළාත් සභා මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ ඇතුළු පිරිසක්ද පැමිණි සිටි පිරිස ඇමතූහ.