ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයාව නීති විරෝධී ආකාරයට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් තවත් නොබෝ දිනකින් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදා ගැනීමේ අන්තර්ජාතික සංවිධානය කියයි.

මෙම සංවිධානය ශ්‍රී ලංකා පොලිසියේ නිත්‍ය සේවාවේ සිට විවිධ දේශපාලන බලපෑම් මත අසාධාරණයට ලක්ව පොලිස් සේවයෙන් ඉවත් වී විදේශගතව සිටින පොලිස් නිලධාරීන් විශාල පිරිසකගෙන් සැදුම් ලත් සංවිධානයකි. මහ බ්‍රිතාන්‍ය මූලස්ථානය කරගත් මෙම සංවිධානය ස්විට්සර්ලන්තය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, ජපානය, ඉතාලිය ආදී රටවල් රැසකින් ක්‍රියාත්මක වන සංවිධානයකි.

හිටපු පොලිස්පතිවරයකු වූ එහි කැඳවුම්කරු අජිත් ධර්මපාල පවසා සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය උල්ලංඝනය කරමින් නීතිය හා සාමය අමාත්‍ය ධුරය සියතට ගනිමින් පාස්කු දින බෝම්බ ප්‍රහාරයට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර වගකිව යුතු බව පවසමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම නීති විරෝධී කටයුත්තක් බවයි.

එය ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට කරන ලද බලවත් අවමානයක් බව පවසන ඔහු මීට පෙර සැම්බියාව, සුඩානය වැනි රටවල පොලිස්පතිවරුන් ප්‍රශ්න කිරීමට ලක්කරත්, ලොව කිසිම රටක පොලිස්පතිවරයෙක් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයට පත්කර නොමැති බවද කීවේය. මෙම සිද්ධියෙන් ශ්‍රී ලංකාවේ පහළ ශ්‍රේණියේ පොලිස් නිලධාරියාත් දැඩි කම්පනයකට පත්වී සිටින බවත්, දේශපාලකයන්ගේ බල මහිමය හමුවේ ඔවුන් ඉත්තන් වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවද අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් සියලු තීරණ ගන්නා ආරක්ෂක මණ්ඩලයට පොලිස්පතිවරයා නොකැඳවා පාස්කු දින බෝම්බයට හිටපු පොලිස්පතිවරයා වගකිව යුතු බවට සඳහන් කරමින් දේශපාලන බලපෑමට හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන් නීති විරෝධී කටයුත්තක් බව හෙතෙම පවසයි.

අනිවාර්ය නිවාඩු යවනු ලැබූ පොලිස්පති පාස්කු දින බෝම්බ ප්‍රහාරයට වගකිව යුතුනම් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනත් පොලිස්පතිවරයාට ඉන් ඉවත් වී යුරෝපීය රටක තානාපතිවරයකු ලෙස යන්නැයි බලපෑම් කළේ මන්දැයි ඔවුන් ප්‍රශ්න කර සිටී.

පාස්කු දින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ස්ථාපිත කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී පූජිත් ජයසුන්දර මහතා සිදුකළ ප්‍රකාශය ආරක්ෂක ලේකම්වරයා හා බුද්ධි තොරතුරු අධ්‍යක්ෂවරයාත් පිළිගෙන තිබියදී ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් සිදුව තිබෙන බව එම සංවිධානය පවසයි. එබැවින් ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ පනතෙන් අවශ්‍ය ලියකියවිලි කිහිපයක්ද ලද වහාම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බවත්, හිටපු ජනාධිපතිවරයාට මේ වන විට ජනාධිපති මුක්තිය නොමැති බැවින් එසේ සිදුකිරීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවද එම සංවිධානය කියයි.