උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දිගින් දිගටම උද්ඝෝෂණ හා පිකටිං කිරීම පිටුපස කිසියම් අදෘශ්‍යමාන බලවේගයක බලපෑම තිබෙනවා ද යන්න සොයා බැලිය යුතුව ඇතැයි උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන තොරතුරු හා ජනසන්නිවේදන තාක්ෂණ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය. විවෘත විශ්වවිද්‍යාලයේ ඊයේ (10 වැනිදා) නිරීක්ෂණයක යෙදෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

විවෘත විශ්වවිද්‍යාලය හරහා විශාල වශයෙන් පෞද්ගලීකරණය කෙරෙන බවට චෝදනා දිගින් දිගටම එල්ල වන හෙයින් තමන් දෙවැනි වතාවටත් විවෘත විශ්වවිද්‍යාලයට හදිසියේම පැමිණි බව ද ඇමැතිවරයා කීවේය.

තවදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේ ද කීවේය.

විවෘත විශ්වවිද්‍යාලය 1980 වර්ෂයේ වෙනම පනතකින් ස්ථාපනය කර තිබෙන්නේ ආරම්භයේ පටන්ම කිසියම් මුදලක් අය කරලා අධ්‍යාපනය ලබා දෙන්නටයි. ඊට හේතුව තමයි මේකට වැඩි වශයෙන් එන්නේ රැකියා නියුක්තිකයන් වීම. ඔවුන්ගේ උසස් අධ්‍යාපන අවශ්‍යතා රැකියාව කරන අතරතුර ඉටු කර ගන්නට පහසු මාර්ගයක් වශයෙන් විවෘත විශ්වවිද්‍යාලය තෝරාගෙන තිබෙනවා. මේ ආයතනයේ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා වැටුප් ගෙවීමට පමණයි රජයෙන් මුදල් ලබා දෙන්නේ. ඉතිරි පරිපාලන සහ වෙනත් කටයුතු සිදු කළ යුත්තේ මේ ආයතනය විසින්ම උපයන මුදල්වලින්. ඒ සඳහා කිසියම් මුදලක් අය කරනවා. නමුත් එය සහනදායි මුදලක්. ඒ නිසා කිසිම ආකාරයකින් 700%කින් විවෘත විශ්වවිද්‍යාලයේ ගාස්තු වැඩි කරලා නැති බව ස්ථිරවම කියන්න පුළුවන්.

පසුගිය වර්ෂවල 10% බැගින් පමණයි ගාස්තු වැඩි වෙලා තිබෙන්නේ. අසාධාරණ ලෙස හෝ ඔය චෝදනා කරන විදියට හෝ අහස උසට ගාස්තු වැඩි කිරීමක් වෙලා නැහැ. ආයතනයේ ගැටලු තිබෙනවා. අධ්‍යයන කාර්යමණ්ඩල ගැටලු, අනධ්‍යයන කාර්ය මණ්ඩල ගැටලුව ශිෂ්‍ය ගැටලු නැතුවා නොවෙයි. ඒවා අපිට සාකච්ඡා කරලා විසඳගන්නට පුළුවන්. පසුගිය වසරවල රජයෙන් මේ ආයතනයට සල්ලි දීලා නැහැ. ඒ වගේ දේවල් අපි විසඳගන්න ඕනේ. ඒ වගේම නීති පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීම පසුගිය කාලයේදී නවතා තිබුණා. නමුත් මාර්තු මස 01 වැනිදා පුවත්පත්වල එම සිසුන් බඳවා ගැනීමට අදාළ දැන්වීම් පළකිරීමට සැලසුම කරලා තිබෙනවා.

නමුත් මේ විශාල මුදල පිටුපස සිටින කොටසක් හෝ වෙනත් දේශපාලන බලපෑමක් මත මෙම උද්ඝෝෂකයන් අද්‍යෂ්‍යමානව සිට මේ දේවල් මෙහෙය වනවද කියලා අපි සොයා ගත යුතුයි. මේ උද්ඝෝෂණ දේශීය හෝ ජාත්‍යන්තර වුවමනාවක මනදොළ සපුරන්නට සිදුකෙරෙන දෙයක් කියලා සොයා බැලිය යුතුයි.

මෙම අවස්ථාව සඳහා විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්.ඒ. අරියදුරෙයි ද එක් විය.

උසස් අධ්‍යාපන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන