ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වූ ආණ්ඩුවලට සහාය වීම එක්සත් ජාතීන්ගේ වගකීම බව වීඩියෝ තාක්ෂණය ඔස්සේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. 

ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් ආණ්ඩු සිය ජනතාවගේ හදගැස්ම සහ අවශ්‍යතා මනාව වටහාගෙන සිටී. ජනතා අවශ්‍යතාවන්ට තිරසර විස¾දුම් දීමට රාජ්‍යයන් ගෙන යන ක්‍රියාදාමයට සහාය වීම එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.

කිසියම් රටකට හෝ බලවේගයකට කිසිදු ආකාරයකින් ගැති නොවී මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ශ්‍රී  ලංකාව කැපවී සිටින බවද රාජපක්ෂ මහතා කියා සිටී. 

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 75 වැනි සැසියේ  රාජ්‍ය නායක සමුළුව  ශ්‍රී  ලංකා වේලාවෙන් පෙරේදා (22දා) රාත්‍රි  9.00ට නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය කේන්ද්‍ර කර ගනිමින් වීඩියෝ තාක්ෂණය භාවිතයෙන් ආරම්භ කෙරිණි.

 “අපට අවශ්‍ය අනාගතය, අපට අවශ්‍ය එක්සත් ජාතීන්, බහුපාර්ශ්විකත්වය සඳහා අපේ සාමූහික කැපවීම යළිත් තහවුරු කිරීම ” (The Future We Want, the UN We Need: Reaffirming our Collective Commitment to Multilateralism) සමුළුවේ මෙවර තේමාවයි. 

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුතේරස්, මහා මණ්ඩල සැසිවාරයේ සභාපති වොල්කන් බොස්කීර් යන මහත්වරුන් සභාව ආමන්ත්‍රණය කිරීමෙන් සමුළුව ආරම්භ විය. 

බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ සහ ඇමෙරිකා  එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යන මහත්වරු පළමු සහ දෙවැනි දේශන  කළහ.

ශ්‍රී  ලංකා වේලාවෙන් ඊයේ (23දා) අලුයම 4.45ට පමණ ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව ඇමැතීය.

මත්ද්‍රව්‍ය ආශ්‍රිත සමාජ, ආර්ථික ගැටලු විසඳීමට ශ්‍රී  ලංකාව දැඩි කැපවීමකින් ක්‍රියා කරයි. දරුවන් සහ තරුණයන් අතර මත්ද්‍රව්‍ය‍ භාවිතය වැළැක්වීම, ශ්‍රී  ලංකාව මත්ද්‍රව්‍යවලින් තොර රටක් බවට පත් කිරීමත්  තම අවශ්‍යතාව බව ජනාධිපතිවරයා සඳහන් කළේය. 

නීති විරෝධී මත්ද්‍රව්‍ය  නිෂ්පාදනය හා ජාවාරමේ නිරත අන්තර්ජාතික අපරාධ කණ්ඩායම් පිළිබඳව ශ්‍රී  ලංකාව දැඩි විමසිල්ලෙන් පසුවන බවද රාජපක්ෂ මහතා පැවැසීය. මත්ද්‍රව්‍ය උවදුර තුරන් කර සුරක්ෂිත රටක් නිර්මාණය කිරීමේ අරමුණින් ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපනය කළ අතර එය ප්‍රශංසනීය ප්‍රතිඵල අත්කරගෙන ඇතැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.’

“දශක 03කට ආසන්න කාලයක් බෙදුම්වාදය හා ත්‍රස්තවාදය අත්විඳි ශ්‍රී  ලංකාව දේශීය හෝ අන්තර්ජාතික හෝ සියලු ආකාරයේ ත්‍රස්තවාදී ක්‍රියා තරයේ හෙළා දකිනවා”යි  ජනාධිපතිවරයා පැවැසීය. 

ශ්‍රී  ලංකා භූමියෙන් ත්‍රස්තවාදය තුරන් කළද කුරිරු මතවාදය ප්‍රචලිත කරමින් හා පදනම් විරහිත අසත්‍ය ප්‍රචාරණ ගෙන යමින් ත්‍රස්තවාදී සංවිධානයේ අන්තර්ජාතික ජාලය තවමත් ක්‍රියාත්මකව ඇතැයි පෙන්වා දුන් ජනාධිපතිවරයා විවිධ දුර්මත සහ ප්‍රකාශ තුළින් ප්‍රචණ්ඩ දෘෂ්ටිවාදය අඛණ්ඩව පවත්වාගෙන යන මේ ජාත්‍යන්තර ජාලයේ ක්‍රියාකාරකම් කිසිදු රාජ්‍යයක් නොඉවසනු ඇතැයි අපේක්ෂාව පළ කළේය. 

 “පටු දේශපාලනික ප්‍රචාරණ නොතකා ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට ලෝක ප්‍රජාව ශ්‍රී  ලංකාව සමඟ සහයෝගයෙන් නැඟී සිටිය යුතුයි” ඔහු කීය. 

 “මෙවර මහා මණ්ඩල සැසිවාරයේ තේමාව කොවිඩ් – 19හි බලපෑම අවම කිරීම සඳහා ජාතික දේශසීමා අතර සහයෝගිතාවේ වැදගත්කම පිළිබිඹු කරයි.  “කොවිඩ් – 19 ගෝලීය මානුෂීය ප්‍රතිචාර සැලැස්ම” සහ කොවිඩ් 19 ප්‍රතිචාර සහ ප්‍රතිසාදන අරමුදල පිහිටුවීම ඇතුළු අභියෝගයට ප්‍රතිචාර ලෙස එක්සත් ජාතීන් ගත් ව්‍යායාමය අගය කළයුතුය. වැඩිදියුණු කළ පසු මූලික සෞඛ්‍ය පහසුකමක් ලෙස නම් කළ යුතු කොවිඩ්-19 එන්නත සියලුදෙනාට ගත හැකි එන්නතක් වනු ඇති බව සහතික කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ වගකීමක්”යැයි ජනාධිපතිවරයා පැවැසීය. 

රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය, බහුවිධ අඛණ්ඩතාව ආරක්ෂා කරන සහ එම රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම අගයන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ වැදගත්කම අවධාරණය කරන බව සිය දේශනය අවසන් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here