බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය අතර නව ගිවිසුමක් ඇති කරගැනීමට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සමත් වුණි.

කෙසේ වෙතත් නව බ්‍රෙක්සිට් යෝජනාවලියද බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වී ඇත.

පසුගියදා රැස්වූ බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුව බ්‍රෙක්සිට් ගනුදෙනුව සඳහා අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් හට සහය පළකිරීම වෙනුවට එම යෝජනාව සම්මත කර ගැනීම වළක්වන ඓතිහාසික සංශෝධනයක් සම්මත කළේය.

දේශපාලන විචාරකයින් මෙය හඳුන්වා දෙන්නේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් හට අත්විඳින්නට සිදුවූ ලැජ්ජාසහගත පරාජයක් ලෙසයි.

කෙසේ වෙතත් මෙයින් තමන් පසුනොබසින බවද ලබන සතියේ නැවත උත්සාහ කරන බවද අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසයි.

ඔලිවර් ලෙට්වින් ගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම ඉදිරිපත් කළ සංශෝධනය වැඩි ඡන්ද 16කින් සම්මත වුණි.

එයට පක්ෂව ඡන්ද 322ක්ද විපක්ෂව ඡන්ද 306ක්ද ලැබී ඇත.

සියලු නෛතික ක්‍රියාමාර්ග සම්පූර්ණ කරන තෙක් සිය සහයෝගය අගමැතිවරයාට ලබානොදෙන බව පවසමින් සම්මත කරගත් එම සංශෝධනයට නායකත්වය ලබාදුන්නේ ඔලිවර් ලෙට්වින් වන හෙයින් එය හැඳින්වෙන්නේ ලෙට්වින් සංශෝධනය ලෙසයි.

දැනට පවතින තත්ත්වය අනුව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් විසින් ලබන සතියේ නැවතත් බ්‍රෙක්සිට් සභාගත කළවිට තවත් සංශෝධනයක් ගෙන එමින් එය අවහිර කිරීමට බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුව කටයුතු කරනු ඇති.

ඇතැම්විට දෙවැනි බ්‍රෙක්සිට් ජනමත විචාරණයක් පැවැත්වීමේ යෝජනාවක් දක්වා මෙය දුරදිග යාමටද ඉඩකඩ තිබෙන බව සඳහන්.

නව බ්‍රෙක්සිට් යෝජනාව පරාජයට පත්වීමත් සමග ඔක්තෝම්බර් 31 වනවිට  අනිවාර්යයෙන්ම බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බව පැවසූ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නිරුත්තර වී ඇත.

ඒ අනුව ඔහු බ්‍රෙක්සිට් සඳහා ඉදිරි දිනයක් ඉල්ලා සිටිමින් යුරෝපා සංගමයෙන් ලිඛිත ඉල්ලීමක් කළේය.

කෙසේ නමුත් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් එකහෙළා පවසන්නේ තමන් කිසිම අයුරකින් යුරෝපා සංගමය සමග මේ පිළිබඳව  සාකච්ඡාවක් නොකරන බවයි.

මේ අතර අග්‍රාමාත්‍ය බොරිස් ජෝන්සන්ට විපක්ෂව කටයුතු කරන පාර්ලිමේන්තු කණ්ඩායම පෙන්වා දෙන්නේ බොරිස් ජෝන්සන්ට බ්‍රෙක්සිට් අනුමත කර ගැනීමට අවශ්‍යනම් ඔහු බෙන් පනත අනුව කටයුතු කළ යුතු බවයි.

බෙන් පනත යනුවෙන් හැඳින්වෙන්නේ යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය කැඩී වෙන් වන්නේනම් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඇතුළත් 2019 අංක 2  දරණ පනතයි.

ජෙරමි කෝබින් ගේ නායකත්වයෙන් යුත් කම්කරු පක්ෂයේ සහයද අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට අහිමි වී ඇත.

සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුව සෙනසුරාදා දිනයන්හි රැස්වන්නේ නැහැ.

නමුත් මෙම අවස්ථාවේ වැදගත්කම සළකා බලා පාර්ලිමේන්තුව රැස් කිරීමට කතානායකවරයා පියවර ගත්තේය.

ඒ 37 වසරක ඉතිහාසය තුළ පළමු වරටයි.

බ්‍රෙක්සිට් ලේකම්වරයා පෙන්වා දෙන්නේ මේ වනවිට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කරන බ්‍රෙක්සිට් සහ අගමැතිනී තෙරේසා මේ විසින් එකඟ වී තිබූ ගිවිසුම අතර විශාල වෙනස්කම් පවතින බවයි.

උදාහරණයක් වශයෙන් බොරිස් ජොන්සන්ගේ බ්‍රෙක්සිට් යෝජනාවලිය තුළ කම්කරු අයිතිවාසිකම් සඳහා වූ නෛතික රක්ෂණයක් අඩංගු වන්නේ නැහැ.