කොරෝනා මාරාන්තික වයිරසය පිටුදැකීමේ මෙහෙයුමේ ප්‍රගතිය කවරේද? රටින් ලැබුණු ආධාර මුදල්වලට සිදුවූයේ කුමක්ද? පාර්ලිමේන්තුව නැතිව රටකට ඉදිරියට යා හැකිද? මේ ඒ ගැන විමසමින් ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රෝහණ රාජපක්ෂ මහතා සමග කළ සාකච්ඡාවකි.

ප්‍රශ්නය:- දැන් රටේ පාර්ලිමේන්තුවක් නැහැ. එහෙම රටක් කොහොමද ඉදිරියට යන්නේ?

පිළිතුර:- ඇත්තටම ඔය ප්‍රශ්නයට උත්තර දීමේ දී මම මුලින්ම කිව යුත්තේ, මම මේ වෙලාවේ රට වෙනුවෙන් වගකීමක් බාර අරගෙන තියෙනවා. ජනාධිපතිතුමා මට වගකීමක් බාරදීලා තියෙනවා. ඒ නිසා මම නිර්දේශපාලනිකව තමයි මේ දවස්වල ක්‍රියාකරන්නේ. ඒ නිසා මම දේශපාලනයෙන් තොර ප්‍රශ්නවලට උත්තර දෙන්න කැමතියි.

ප්‍රශ්නය:- නමුත් මගේ ප්‍රශ්නයට උත්තර දෙන්න ඔබට විශේෂ බාධාවක් නැහැ.

පිළිතුර:- මෙහෙමයි, මෙතැනදී බොහොම පැහැදිලිව කියනවා නම් ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව තියෙන්නේ හැම වෙලාවකදීම මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිසා ජනතාවගේ නියෝජිතයන්ගෙන් සමන්විත ජනතාවගේ කැමැත්ත මත පත්වෙච්ච පාර්ලිමේන්තුවක් විතරක් නොවෙයි, පළාත් සභා, පළාත් පාලන ආයතන සියල්ල එක්කම වැඩ කරන්නයි. නමුත් අවාසනාවකට දැනට මහජන නියෝජිතයෝ එහෙම නැත්නම් මහ ජනතාව තෝරා ගන්නා ආයතන දෙකයි රටේ තියෙන්නේ. ඒ ජනාධිපතිතුමා හා පළාත් පාලන ආයතන. ඒ දෙක හැර අද වෙන ආයතන නෑ. අද පළාත් සභාත් නෑ, පාර්ලිමේන්තුවත් නැහැ. පළාත් සභා අතුරුදන්වීමේ…… ඒ වචනය පාවිච්චි කළේ මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ජනාධිපතිතුමා දිවුරුම් දීමේ උත්සවයේදී. ඉතින් පළාත් සභා අතුරුදන් වුණා වගේ. පාර්ලිමේන්තුව අහෝසි වෙන්න ඉඩ නොදිය යුතුයි. මේක ඇත්තටම ව්‍යවස්ථාව සංශෝධනය කරපු අයත් කල්පනා කළේ පාර්ලිමේන්තුව නැතිව රටේ කාලය මාස තුනයි කියලා.

ප්‍රශ්නය:- දැන් ඒ මාස තුනත් ගෙවී යමින් තියෙන්නේ.

පිළිතුර:- ඔව්. ඒ නිසා මැතිවරණ කොමිෂන් සභාවට විශේෂ වගකීමක් තියෙනවා ඉක්මනින්ම මේ පාර්ලිමේන්තු මැතිවරණය තියලා ඒ මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවට ගෙන්වලා දෙන්න.

ප්‍රශ්නය:- මැතිවරණ කොමිෂන් සභාව ඒ වගකීම ඉටු කරන්නේ නැහැ කියලද ඔබ කියන්නේ?

පිළිතුර:- ඒ වගකීමට අකුල් හෙළන කවුරුහරි කෙනෙක් ඒ කොමිසන් සභාවේ ඉන්නවා නම් ඒක ප්‍රශ්නයක්. ජනාධිපතිතුමාට අවශ්‍යතාවයක් නෑ මහ මැතිවරණයකට යන්න. මොකද අවශ්‍ය සියලු කාර්යයන් කරගෙන යන්න එතුමට පුළුවන්. රටේ ජනාධිපතිවරයෙක් ඉන්නවා. එතුමට අගමැති කෙනෙක්, කැබිනට් මණ්ඩලයක් තියෙනවා. ඒ නිසා විධායකය කටයුතු කරගෙන යන්න බාධාවක් නෑ. නමුත් ව්‍යවස්ථාදායකයේ කටයුතු කිරීමට නම් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව තිබිය යුතුයි. ඒ සඳහා මැතිවරණයක් තියලා ජනතාවගේ පරමාධිපත්‍යයේ බලය ක්‍රියාත්මක කරන්න අවස්ථාව දිය යුතුයි.

ප්‍රශ්නය:- මෙතැන ප්‍රශ්නය තියෙන්නේ කොරෝනා වසංගතයත් සමග කොහොමද මහ මැතිවරණයක් තියන්නේ කියන එකයි. නාවික හමුදාවේ කොරෝනා පොකුරු ආසාදිතයන් තවමත් අවසන් නෑ.

පිළිතුර:- ඒ සම්බන්ධයෙන් මගේ නම් අදහස කොරෝනා වයිරසය තියෙනවා. නමුත් ඒකත් එක්ක ජීවත්වීමට සූදානම් විය යුතුයි කියන එක තමයි ලෝකයේ සියලුම වෛද්‍ය විශේෂඥයන්ගේ පිළිගැනීම. ඉතින් ඒක මේ රටේ උණ, හෙම්බිරිස්සාව ගානට පත් වෙයි කියලා මං හිතන්නේ නෑ. වසංගත රෝග කිහිපයක් අපේ රටේ විතරක් නොවෙයි ලෝකය පුරා පසුගිය කාලේ පැතිරිලා තිබුණා. අපි ඒවට හුරු​වෙලා ජීවත් වෙන්න පටන් අරගෙන තියෙනවා. මුලදී යම් තැතිගැනීමක් ඇති වෙනවා. නමුත් පසු කාලයක දී ඒකත් එක්ක ජීවත් වීමට යම් යම් වෙනස්කම් සහිතව ජන ජීවිතය පවත්වාගෙන යාමට සූදානම් විය යුතුයි.

ප්‍රශ්නය:- ආණ්ඩුවට රට අරින්න කලබලයක් තිබුණට කොරෝනාව මැඩලන්න එහෙම කලබලයක් නෑ කියලයි විපක්ෂය කියන්නේ?

පිළිතුර:- මේක මේ ලෝකයේම තියෙන එකක්. මේක අලුත් වයිරසයක්. අලුත් වසංගතයක්. මං හිතන්නේ අපේ රට මේ වසංගතයේදී ගත්ත පියවර ඉතාම ප්‍රශංසනීයයි. ධන බලය, යුද බලය, ජන බලය ඔය ඔක්කොම තියෙන රටවල්වලටත් බැරි වෙච්ච දෙයක් අපි කරලා තියෙනවා. අපි මේ වසංගතය මැඩලන්න ක්‍රියාත්මක වෙච්ච විදිය බොහොම ප්‍රශංසනීයයි.

ප්‍රශ්නය:- නාවික හමුදාවට කොරෝනා රෝගය බෝවීම අභිරහසක් කියලා නාවික හමුදාපතිතුමා කියනවා.

පිළිතුර:- නාවික හමුදාවට විතරක් නොවෙයි කොරෝනාව ලෝකයටම බිහි වෙච්ච එකත් අභිරසක් තමා. කට්ටියක් කියනවා රසායනාගාරයකින් පිට වුණා කියලා. සමහරු කියනවා ඉබේ ඇති වුණා කියලා. තවත් අය කියනවා සතුන්ගෙන් බෝ වුණා කියලා. ඉතින් එහෙම එකකදි එක තැනකින් පොකුරු රෝගීන් බෝවීම අභිරහසක් වෙන්න පුළුවන්. නමුත් අභිරහස විශේෂ අභිරහසක් නොවෙයි. මේ වයිරසයම අභිරහසක්.

ප්‍රශ්නය:- මේ කොරෝනා වසංගතයත් සමග ඔබට විශේෂ වගකීමක් පැවරුණා. ඒකටත් විශේෂ හේතුවක් තියෙනවද?

පිළිතුර:- මෙතැන පැහැදිලි කළ යුතු කාරණාවක් තියෙනවා. කාර්ය සාධක බළකායවල් දැන් ක්‍රියාත්මක වෙනවා තුනක්. එකක් තමයි ජනාධිපතිතුමාම මූලාසනය ගන්න සෞඛ්‍ය විශේෂඥයන්, යුද නායකයන්, රජයේ නිලධාරීන් එකතු වෙන කොරෝනාව මර්දනය කිරීමේ ක්‍රියාවලිය. දෙවැනි කාරණය තමයි එදා අත්‍යවශ්‍ය සේවා ඉටු කිරීම සඳහා මගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බළකායක් පිහිටෙව්වා. ඒක දැන් අහෝසි වෙලා. කොරෝනා වයිරසයෙන් එහාට ​කොහොමද ආර්ථික පුනර්ජීවනය හා දිළිඳුකම පිටුදැකීමේ කටයුත්ත කිරීමේ වැඩ පිළිවෙළ සකස් කරන්න මේ අලුත් වගකීම පැවරුණේ.

ප්‍රශ්නය:- පීඩාවට පත් ජනතාවට මාසිකව රුපියල් පන්දාහක් දුන්නා. ජූනි මාසයටත් ඒක දෙනවද?

පිළිතුර:- අපේ ඒ පිළිබඳ ක්‍රියා කරන විශේෂ කාර්ය සාධක බළකායයි පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිවරිය වගකීම් දරන සෞඛ්‍ය අමාත්‍යංශයයි තමයි මේ කටයුතු කරන්නේ. ඊට අමතරව කැබිනට් මණ්ඩලයට අවසානයට යනවා. ඒ නිසා ජූනි මාසය ගැන අපි සාකච්ඡා කරල තිබුණට අවසන් තීන්දුවක් තාම අරගෙන නෑ.

ප්‍රශ්නය:- ඒක අත්හිටුවන්න මැකෝ නියෝග කරලා කියලා ප්‍රවෘත්තියක් පළවුණා.

පිළිතුර:- එහෙම එකක් කියවුණා කිව්වට ඒක තාම අපට අදාළ නැහැ.

ප්‍රශ්නය:- රුපියල් පන්දාහකින් පවුලකට මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියලා ඔබ හිතනවද?

පිළිතුර:- ඒක එක පාරටම වියදම සලකලා මුදලක් දීම නොවෙයි. අපේ වැඩපිළිවෙළේ එක්තරා කොටසක් පමණයි ඒක. සමස්ත කොවිඩ් 19 සඳහා මුහුණ දෙන්න රජය දීපු පැකේජය. එහෙම නැත්නම් සහන වැඩපිළිවෙළ විවිධ අංශවලින් කළා. එකක් තමයි පීඩාවට පත් ජනතාවට සහන සැලසීම. ඒ වෙනුවෙන් තමයි රුපියල් පන්දාහ දෙන්නේ. ඊළඟට සමාජයට සහන සැලසීම. ඊට සමගාමීව ව්‍යාපාරික ක්ෂේත්‍රයට දීපු සහන තියෙනවා. ඊළඟට අපි සමහර ගෙවීම් කල් දැම්මා. ජල බිල, විදුලි බිල, විදුලි සංදේශ බිල ගෙවීම කල් දැම්මා. ඒ වගේම ලීසිංවල ණය වාරික ගෙවීමට කල් දුන්නා. ඒ වගේ එක එක සහන දුන්නා. ඒ වගේම සහන සැලසීමේදී අපි බලනවා ඒ ජීවත්වීමේ අවශ්‍යතාවය ගැනත්. වකුගඩු රෝගියෙක් නම් අපි තව රුපියල් 5000ක් දෙනවා. ආබාධිතයෙක් නම් එයාට තව අමතර වියදමක් යනවා, ඒ නිසා එයාට තවත් රුපියල් 5000ක් දෙනවා. සමෘද්ධි පවුලක්නම් තව රුපියල් 3800ක් දුන්නා. වැඩිහිටි දීමනාව රුපියල් දෙදහ, පන්දාහ කරලා අපි දුන්නා. ගොවි විශ්‍රාම වැටුප ලබපු කට්ටියට එයාගේ විශ්‍රාම වැටුප කීය වුණත් එයාටත් රුපියල් 5000ක් දුන්නා. ඒ විදියට විවිධ ආකාරයට මේ සහන පැකේජය දුන්නා. සමහර පවුල්වලට රුපියල් 23500ක් ලැබිලා තියෙනවා. අනු පවුල් ඉන්නවා නම් ඒ අයටත් දීලා තියෙනවා. ඒ විදියට එක එක ආකාරයේ සහන අපි දීලා තියෙනවා. බොහොම විද්‍යාත්මකව බලලා රටේ තියෙන ආර්ථිකයයි ජනතාවගේ ආර්ථිකයයි. දිළිඳුකමයි ප්‍රශ්‍්න ඔක්කොම බලලා තමයි අපි සහන දුන්නේ. මේක මේ ඉතාම විද්‍යාත්මකව කරපු වැඩක්. මොකද මේ අපේ ජනාධිපතිතුමා කොරෝනා එක මර්දනය කිරීමට ගත්තෙත් ඉතාම විද්‍යාත්මක පියවරවල්. සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් ගත්තා වගේම ආරක්ෂක විශේෂඥයන්ගෙනුත් උපදෙස් ගත්තා. ලෝක ආර්ථික තත්ත්වයයි, රටේ ආර්ථිකයයි සියල්ල බලලා සියල්ල කළමනාකරණය කරලා තමයි මේක කළේ. ඒ නිසා තමයි අපේ රටේ කිසිම කෙනෙක් බඩගින්නේ මැරුණේ නැත්තේ. ඒ නිසා තමයි වෙන රටවල්වල වගේ පාරට බැහැලා මිනිස්සු උද්ඝෝෂණ කරමින් කලබල කළේ නැත්තේ.

ප්‍රශ්නය:- පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙන්වීමේදී විශේෂ වරප්‍රසාද හිමි වන පිරිසක් ඉන්න බව කියනවා. ආණ්ඩුව එතැනදිත් ‘‘ගේම්’’ එකක් ගහනවා කියලා තමයි චෝදනාව තියෙන්නේ.

පිළිතුර:- සම්පූර්ණයෙන්ම වැරැදි කතාවක්. ඒක අපි කරන්නෙත් ඉතාම සැලසුම්සහගතව. ඒ රට ​මොකද්ද? පුද්ගලයෝ කවුද? ඒ වගේම මෙහෙ නිරෝධායන මධ්‍යස්ථානවල තියෙන ඉඩකඩ. ඒ රටේ කොරෝනා රෝගයේ හැසිරීම. මේ සියල්ල බලලා තමයි අපි අපේ මිනිස්සු ලංකාවට ගෙන්වන්නේ.

ප්‍රශ්නය:- වැඩිම විදේශ විනිමය එවන මැදපෙරදිග ගෘහ සේවිකාවන් රජය අමතක කරලා.

පිළිතුර:- සල්ලි අනුව බලනවා නම් හරි ඔබතුමා කියන එක. නමුත් මෙතැනදි ඊට වඩා බලන්න ඕනෑ දේවල් තියෙනවා. මානුෂිකත්වය බලන්න ඕනෑ. රෝගය පැතිරීම ගැන බලන්න ඕනෑ. ඒ වගේම මෙහෙ නිරෝධායන මධ්‍යස්ථානවල තත්ත්වය බලන්න ඕනෑ. ඒ නිසා එක අංශයක් දිහා විතරක් බලලා තීන්දු තීරණ ගන්න බැහැ. චීනයේ ඉන්න ශිෂ්‍යයෝ ගෙන්වනකොට එතැන තිබුණේ ඒ ප්‍රශ්නය විතරයි. ඒ නිසා ඒ අයව ගෙන්වන්න පුළුවන්. නමුත් දැන් විශාල පිරිසක් ඉන්නවා. අපි අහලා නැති රටවලත් අපේ අය ඉන්නවා. සමහරු ඉන්නවා ඉතා දුර බැහැර රටවල්වල. ඒ රටවල්වලට අපේ ගුවන් යානයක් යවන්න බෑ. සමහර විට ඉන්නේ හය හත් දෙනයි. අපේ ගුවන් යානාවලට යන්න පුළුවන් දුර ප්‍රමාණයක් තියෙනවා. ගුවන් ගත විය හැකි පැය ගණනක් තියෙනවා. ඒ නිසා විද්‍යානුකූලව සැලසුම් සහගතව තමයි ගෙන්වන්නේ. මේක එක්කෙනෙක්ගේ ප්‍රශ්නයක් හැටියට බැලුවොත් රටට සල්ලි ගේන එක දිහා විතරක් බැලුවොත් එතකොට අර දේවල් ඔක්කොම අමතක කරන්න වෙනවා. අපිට ඕනෑ නම් අපේ හිතවතෙක් ඉන්න රටකට ප්‍රමුඛතාවය දෙන්න පුළුවන්. ඒ නිසා මම මෙතැනදී කාටවත් කිසිම බලපෑමක් කරන්නේ නෑ. කාවද ඉස්සෙල්ලා ගෙන්වන්නේ, කාවද පහු කරන්නේ කියලා අපි තීරණය කරන්න යන්නේ නෑ. ඉතාම නිදහස් මනසකින් ඒ කාර්ය කරන අයට වැඩ කරන්න පරිසරයක් අපි හදලා තියෙනවා. එහෙම නැතිව සමාජ මාධ්‍ය හෝ විශේෂ අරමුණුවලින් හෝ කියන විදියට මේක කරන්න ගියොත් ඒක මහා විනාශයක් වෙනවා. ප්‍රශ්න දෙකයි අපට දැන් තියෙන්නේ. එකක් තමයි පිටරට ඉන්න විශාල පිරිස ලංකාවට ගෙන්වා ගැනීම. දැන් ඒ ඉල්ලුම වැඩිවෙලා තියෙනවා. එන්න නොහිතපු අයත් අලුතින් එන්න හදනවා. ඒක ගැන අපි කල්පනා කළ යුතුයි.

ප්‍රශ්නය:- රට වහන්න පරක්කු වුණෙත් ප්‍රභූ පුතුන් රටට එනකම් කියලයි කීවේ ?

පිළිතුර:- එතකොට රට ඇරලද මේ අයව ගෙන්වන්නේ.

මතක තියාගන්න, ජනාධිපතිතුමාගේ පුතයි ලේලියි ඉන්නෙත් ඇමෙරිකාවේ. මගේ නෝනයි දරුවොයි මුණුපුරාලයි මුළු පවුලම ඉන්නේ ඇමෙරිකාවේ. ඒ අයව ගෙන්න ගන්න අපි ප්‍රමුඛතාවය දුන්නේ නෑ. වෙන රාජ්‍ය නායකයෙක් හිටියා නම් සමහර විට මුලින්ම ගෙන්වා ගන්නේ තමන්ගේ අයව. එහෙම කරලා මේ සාර්ථකත්වය ලබන්න බෑ. ඒ අයට මේ වැඩේ බොහොම නිදහසේ කරන්න ඉඩ දීලා තියෙනවා. මං ඒ අදාළ අංශවලට කියපු එකම දේ කිසිම බලපෑමකින් තොරව විද්‍යාත්මකව සැලසුම් කරලා ඒ අයව ගෙන්වන්න කියලයි. මොකද නැත්නම් බලපෑම් ආවොත් ඒක මහා විනාශයකට හේතුවක්. කොහොම වුණත් මොන රටක හිටියත් අපේ අයව අපි ගෙන්වනවා.

ප්‍රශ්නය:- කො​රෝනා මර්දනයට පිටරටින් කොච්චර මුදල් ප්‍රමාණයක් ලැබුණද? ඒක ගැන කවුරුවත් දන්නේ නෑ?

පිළිතුර:- දේශීයව ලැබෙන මුදල් හැමදාම පත්තරවල දානවා. අනික් ඒවා ලැබීම පිළිබඳව කියන්න තියෙන්නේ ඉතාම පරිස්සමෙන් හා විනිවිදභාවයෙන් තමයි අපි වැඩ කරන්නේ. ලැබුණ මුදලට වඩා වියදම් කරන මුදල ගැන පැහැදිලි ක්‍රමවේදයක් හදලා තියෙනවා. දීම තීරණය කරන්නේ අපි නොවෙයි. ඒක තීරණය කරන්නේ දෙන එක්කෙනා. එතකොට ලැබෙන එක්කෙනා විදියට ශ්‍රී ලංකා රජය, ජනාධිපතිතුමා දැනට විධායකය සමග කටයුතු කරන පිරිස්වලට පරිබාහිරව, අද තියෙන නිදහස්ම ආයතනය වන මහ බැංකුවේ අධිපතිතුමාගේ නායකත්වයෙන් යුතු දේශපාලනඥයන් නොවන ඒ වගේම ළඟම ඉන්න නිලධාරීන්ගෙන් පරිබාහිර කණ්ඩායමක් දාලා තියෙනවා. ඉතාම විනිවිදභාවයකින් ඒ කටයුතු කෙරෙනවා. ඒ වගේම මුදල් දෙන ආයතනත් පැහැදිලිවම යම් යම් කොන්දේසි දාලා තියෙනවා.

ප්‍රශ්නය:- කොයිතරම් මුදල් ප්‍රමාණයක් ලැබිලා තියෙනවද?

පිළිතුර:- මට නම් ඒ ගැන දැනුමක් නෑ. ඒක අපට අදාළත් නෑ. අපි කටයුතු කරන්නේ ඉදිරියට රටේ ආර්ථිකය පුනර්ජීවනය කරන්නේ කොහොමද කියන එක ගැනයි.

ප්‍රශ්නය:- මේ කොරෝනා අස්සේ එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්න යනවා කියලා ආරංචියි.

පිළිතුර:- මම ඔය වැඩවලින් ඈත්වෙලා ඉන්නේ. මොකද ඔබ දන්නවා මම ඔය ප්‍රශ්නය ගැන වැඩිය බලන්නේ නැහැ කියලා. ජනාධිපතිතුමා ඒකට හොඳ කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටු වාර්තාව අරගෙන ඊට අපේ තියෙන කාරණා ගැනත් අවධානය යොමු කරනවා. රටට අහිතකර කිසිවක්ම වෙන්නේ නෑ කියන සහතිකය මට දෙන්න පුළුවන්.

සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්