පාස්කු ප්‍රහාරයේ විමර්ශන හොඳින් කෙරීගෙන යන නමුත් එම ප්‍රහාරය පිළිබඳව කෙරුනු සොයාගැනීම් හා විමර්ශන දුර්වල කරන්න යම් බලගතු උදවිය ක්‍රියාත්මක වෙමින් සිටින බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පැවැසූහ.

ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහ නායක පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමිපාණන්ගේ සුවදුක් විමසීමට පැමිණ නික්ම යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගරදගුරු හිමිපාණෝ මේ බව කීහ.

එහිදී මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ සම්බන්ධව සඳහන් කළහ.

“පාස්කු ප්‍රහාරයේ විමර්ශනයන් හොඳින් කෙරීගෙන යනවා. නමුත් යම් යම් බලගතු උදවිය එම ප්‍රහාරය පිළිබඳව කෙරුනු සොයාගැනීම් විමර්ශන දුර්වල කරන්න යම් යම් වැඩපිළිවෙළවල් සංවිධාන කරගෙන යන බවට අපට ආරංචි ලැබී තිබෙනවා.

මේ බලගතු ක්ෂේත්‍රවල ඉන්න සමහර අය ඒ ගොල්ලෝ ධනවත් වෙන්න පුළුවන්, බලවත් වෙන්න පුළුවන්. ඒ ගොල්ලන් දැනගත යුතුයි තමන්ට ජීවත්වීමේ අයිතියක් තිබෙනවා වගේම මියගිය මිනිසුන්ටත් ජීවත්වීමේ අයිතියක් තිබුණු බවත්, ඒ අයිතිය උදුරා දමලා මානව හිමිකම් ලේබලය අස්සේ සැඟවී, මේකට වැරදි කවුරුද කියලා හොයන්න වෙහෙසන නිලධාරි මහත්වරුන්ට තර්ජනය කරන්න, ඒ නිලධාරීන්ව අධෛර්යවත් කරන්න, ඔවුන්ට විරුද්ධව නඩු මඟට බැහැලා නීතියෙන් අපකීර්තියට පත් කරන්න කටයුතු කරන එක වැරැදියි.

මේ නීති ක්ෂේත්‍රයේ කියලා ඒ අයට විශේෂිත තත්ත්වයක් තිබිය නොහැකියි. රටේ නීතිය හැමෝටම පොදුයි. උසාවිය හෑල්ලුවට ලක්කරන්න හදන එක වැරැදියි. තමන් නීතිඥයන් කියලා උසාවියට අයුතු බලපෑම් කිරීමත් වැරැදියි. වැරැදි කරපු අය සොයා ගැනීමත් නීතියේ වගකීමක්. අකුල් හෙළීමට යම් කෙනෙක් උත්සාහ කරනවා නම් ඒක අපි තරයේ හෙළා දැකිය යුත්තක්.”

අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන් බැහැ දැකීමට තමා ධර්මපාලාරාම පුද බිමට පැමිණි බවද උන්වහන්සේගේ සුවදුක් විමසූ බවද මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවැසූහ.