වසර 2300ක ප්‍රෞඪ ඉතිහාසයක් ඇති මුහුදු මහ විහාරයට අද අත්ව ඇත්තේ ශෝචනීය ඉරණමකි. විහාර භූමියට අයත්ව තිබූ අක්කර 72ක් මේ වනවිට මුස්ලිම්වරු අල්ලා ගැනීම ඊට හේතුවයි. අතීතයේදී මුහුදු මහ විහාරයට අයත් භූමි භාගය තුළ කිසිදු ජනාවාසයක් තිබුණේ නැත. එහෙත් අද වනවිට මුස්ලිම්වරු අක්කර 72ක තුළ පිහිටි වෙහෙර විහාර කඩා විනාශ කොට ඇත. එපමණක් නොව විහාරස්ථානයට අයත් අක්කර 58ක භූමියේ ජනාවාස පිහිටුවා ගනිමින් මහත් විනාශයක් කරමින් සිටිති.

මේ සඳහා විහාරාධිපති වරකාපොළ ඉන්ද්‍රසිරි හිමි, උඩලමත්තේ රතනප්‍රිය හිමි ඇතුළු බොහෝදෙනා වසර ගණනක් තිස්සේ හඬ නැඟූහ. ඒ විහාරස්ථානයට අයත් අක්කර 72ක භූමිය නැවත විහාරයට ලබාදෙන ලෙස ඉල්ලමිනි. නමුත් වසර ගණනක් තිස්සේ නැඟූ හඬ ගඟට ඉනි කැපුවාක් මෙන් විය.

මාධ්‍ය මඟින් මේ ගැන දිගින් දිගටම වාර්තා කළද ඉන්ද නිසි පලක් නොවිණි. පසුගිය දිනක වත්මන් රජය මේ ගැන අවධානය යොමුකරමින් ජනාධිපති සහ අගමැතිවරයාගේ උපදෙස් මත මුහුදු මහ විහාරයේ ආරක්ෂාවට ඉඩම් ඇල්ලීම නවතාලීමට නාවික හමුදා අනුකණ්ඩයක් ස්ථාපිත කරන්නේ පැවැති තත්ත්වයට විසඳුමක් ලෙසිනි. එසේම මුහුදු මහ විහාරයට අයිති භූමිය නැවත විහාරස්ථානයට පවරා දීමටද සැලසුම් සකස් වෙමින් පවතියි. මේ ඒ ගැන කරන සොයා බැලීමකි.

මුහුදු මහ විහාරයට දැනට ඉතිරිව ඇති අක්කර 14 පමණක් ලබාදීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කරන බව දැනගන්නට තිබේ. එහෙත් මුහුදු මහ විහාරවාසී හිමිවරු ඉල්ලන්නේ විහාරස්ථානයට පවරා දී ඇති අක්කර 72ක භූමියම අවශ්‍ය බවය. වත්මන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක විසින් මුහුදු මහ විහාරයට අයත් ඉඩම් මුස්ලිම්වරුන්ට ලබාදීමට මුල්වූ බවටද උඩලමත්තෙ හිමිගේ චෝදනා එල්ල වෙන්නේද එවන් පසුබිමකය.

ඊට හොඳම නිදසුන ලෙස උඩලමත්තේ හිමියෝ පෙන්වා දෙන්නේ විහාර මහ දේවියගේ පිළිමය හමුවූ ස්ථානයේ භූමිය ගැසට් නොකර තබා ගැනීමය. එම ඉඩම තවමත් මැන නැත. එය පුරාවිද්‍යාවට පවරා ගත්තත් එම ඉඩම අල්ලාගත් අබ්දුල් මජීඩ්ට මුරකරු තනතුරක් දීමටද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර ඇතැයි උදලමත්තේ හිමියෝ පවසති. එසේම අබ්දුල් මජීඩ්ගේ පුතාට එනම් අබ්දුල් මජීඩ් වහප්ට දැන් මුරකරු තනතුර ලබාදී ඇත.

මේ මුරකරු මුහුදු මහ විහාරයට අයත් භූමිය අල්ලා ගනිමින් පුරාවිද්‍යා නටබුන් විනාශ කරන බවද උඩලමත්තෙ රතනප්‍රිය හිමියෝ පවසති. එනිසා මුහුදු මහ විහාරයට පවරා දුන් අක්කර 72 ලබාගන්නා තෙක් මෙම සටන දිගටම ගෙන යන බව හිමියෝ පවසති. 1951.01.26 දින සෙනරත් පරණවිතාන මහතා විසින් ගැසට් කර පවරාදුන් භූමියම නැවත මුහුදු මහ විහාරයට ලබාදීමට වත්මන් රජය කටයුතු කරනු ඇතැයිද උන්වහන්සේ ප්‍රකාශ කරති. එසේ නොවන්නට පුරාවිද්‍යාවේ උත්සාහය වූ අක්කර 14ක භූමිය පමණක් භාර නොගන්නා බවද රතනප්‍රිය හිමියෝ පවසති.

 මුහුදු මහ විහාරයට අයත් භූමිය කොපමණද කියා 1951.01.26 දී සෙනරත් පරණවිතාන මහතා විසින් ගැසට් කර ඇත. ඒ අක්කර 72 රූඩ් 03යි පර්චස් 13ක ප්‍රදේශයකි. මේ අක්කර 72ක ඇතුළේ ඉඩම් අල්ලා ගැනීම පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන විනාශ කිරීම, මෙරට ඉතිහාසය විනාශ කිරීම, බෞද්ධයාගේ මුදුන් මල්කඩක් වූ ඓතිහාසික දේ විනාශ කිරීම සිදු වී හමාරය. මේ විනාශය දැක දැක ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමක් එදා සිදුව නැත. අදද සිදු නොවේ. 

නමුත් නාවික හමුදා අනු කණ්ඩයක් පිහිටුවා මුහුදු මහ විහාරයේ ආරක්ෂාව සැලසීමට ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගය අගයන බවද රතනප්‍රිය හිමියෝ පවසති. ඒ නිසා බෞද්ධ විහාරස්ථානයක් විනාශ කොට අරාබිකරයක් ඉදිකිරීමට සමහරු ගත් උත්සාහයට තිත තැබූ බවද උන්වහන්සේ පැවැසූහ. 

1951දී මුහුදු මහ විහාරයට අයත් භූමිය ලෙස අක්කර 72යි රූඩ් 03යි පර්චස් 13ක ප්‍රදේශයක් නම් කළත් එය ආරක්ෂා කිරීමට කිසිදු අයෙක් ක්‍රියාකර නැත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මුහුදු මහ විහාරයට අයත් භූමිය නම් කළාට මේ බව ආරක්ෂා කිරීමට අඩුම තරමේ මුරකරුවෙක් එදා පත් කළේ නැත. මේ අය කළේ ගල් වළලා සීමාව වෙන් කිරීමක් පමණි. ඒ කාලයේ මුහුදු මහ විහාරයේ නායක හිමි වූයේ තංගල්ලේ සිරි සුනන්ද මහ නාහිමිය. 

උන්වහන්සේට තනිවම මේ භූමිය ආරක්ෂා කර ගැනීමට නොහැකි විය. රටේ පාලකයන්, නිලධාරීන් මේ ගැන සොයා බැලුවේ නැත. ඒ නිසා අක්කර 72කට වඩා තිබූ භූමියෙන් අක්කර තිස් ගණනක් අල්ලා ගැනීම සිදුවිය. මේ අල්ලා ගැනීම සිදුවන්නේ කඩින් කඩය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මුහුදු මහ විහාරයට අයත් භූමිය වෙන් කළේ එම භූමිය තුළ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති දේ තිබෙන හෙයිනි. තවමත් කැණීම් නොකළ තැන් තිබෙන හෙයිනි. 

ලංකා ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ගැන කියැවෙන හෙයිනි. එහෙත් එම භූමිය ආරක්ෂා කර ගැනීමේ නොහැකියාව මත අක්කර තිස් ගණනක් අහිමි වෙයි. එදා මුහුදු මහ විහාරයට අයත් භූමිය ඇතුළේ කිසිදු ජනාවාසයක් තිබී නැත. ඉන් පිට ජනාවාස තිබී ඇත. නමුත් අද ජනාවාස තිබීම ඉඩම් අල්ලා ගැනීමට හොඳම නිදසුනකි. 

පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති භූමියක් කිසිම විටෙක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් භූමියක් ලෙස කරන විට එහි ජනාවාස තියන්නේ නැත. එයට හොඳම උදාහරණය වන්නේ මුහුදු මහ විහාරයේ ඇති විහාරගෙය තිබූ භූමියයි. අක්කර හතරක් පමණ විශාල වූ එම භූමිය බලෙන් අල්ලා ගත් එකකි. තාවකාලික බලපත්‍ර ලබාගෙන වගා කිරීමට අල්ලා ගත් ඉඩම අයිති කර ගැනීමට එහි සිටි මුස්ලිම් වගාකරුවකු ක්‍රියා කළේය. 

අක්කර හතරක් පමණ වූ එම භූමියේ ඔහු පොල් වගාවක් කර තිබිණි. එහෙත් එම භූමිය තුළ විහාර මහ දේවියගේ සහ අනෙකුත් පිළිම හමුවිය. ඉන්පසු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කළේ වගා කළ අයට වන්දි දී එම අක්කර හතරක භූමිය පවරා ගැනීමය. ඒ පවරා ගන්නා කාලයේ ඒ අවට කිසිදු පදිංචිකරුවකු සිටියේද නැත. නමුත් අද වනවිට ඒ අවට භූමිය බලෙන් අල්ල ගනිමින් විනාශ කර තිබේ. 

මේ ආකාරයට මුස්ලිම් ජාතිකයන් විසින් අල්ලාගත් අක්කර තිස් ගණනක භූමියද නිදහස් කර ගැනීමට කිසිම නිලධාරියෙක් ඉදිරිපත්ව නැත. ඔවුන් එම ඉඩම් බලෙන් අල්ලා බලපත්‍ර තනාගෙන පදිංචි වී ඇත. 

අක්කර තිස් ගණනද බලෙන් අල්ලා වගා කිරීමට නිවාස හැදීමට මුස්ලිම් ජාතිකයන් ක්‍රියාකර ඇත. එම අල්ලාගත් ඉඩම්වලට නැවත නීත්‍යනුකූල භාවයක් ගෙන එමින් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියද කටයුතු කරයි. 1965දී ගැසට් පත්‍රය අවලංගු නොකර 1965දී ගැසට් පත්‍රයේ දුන් ඉඩම් අඩුකරමින් තවත් ගැසට් පත්‍රයක් නිකුත් කරමිනි. ඉන් මුහුදු මහ විහාරයට අයත්ව තිබූ අක්කර තිස් ගණන අක්කර 14 දක්වා අඩුවිය.

රටේ පාලකයන් සහ නිලධාරීන් සිදුකර ඇත්තේ පවතින රජයට හෝ බලයට පැමිණීමට නියමිතව තිබූ පාලකයා ඒමට ඡන්ද පදනමක් හදා ගැනීමය. ඒ සඳහා මේ අය තෝරාගෙන තිබුණේ බෞද්ධ ඉතිහාසය විනාශ කිරීමටය. අද පිල් බෙදී දේශපාලන සටන් පාඨ කියන මුස්ලිම් ඇමැතිවරු සියලුදෙනා මුහුදු මහ විහාරයට අයත් ඉඩම් බලෙන් අල්ලා ගැනීමේදී අනුගමනය කරන්නේ එකම ප්‍රතිපත්තියකි. ඒ තම ජාතිය වෙනුවෙන් ජාතියේ වර්ධනය වෙනුවෙන් ඉඩම් බලෙන් අල්ලා ගැනීමට උපකාර කිරීමය.

මුහුදු මහ විහාරයට අයත් වෙන් වූ අක්කර 30න් අක්කර 15ක් පමණ මුස්ලිම් ජාතිකයන් අතර බෙදා දෙයි. ඒ ජයභූමි ඔප්පු හරහාය. මෙහිදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අමුතු තාලේ වැඩක් කර ඇත. ඒ ඉඩම් බෙදා දුන්නේ නමට කියා අතපිස දමා ගැනීමය. එසේ කියන ගමන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටින්නේ තවමත් මුහුදු මහ විහාරයට අක්කර 30ක භූමියක් අයිති යැයි කියාය. එය වෙනස් වී නැතැයි කියාය. 

1965 ගැසට් එක තුළ එම ඉඩම් ප්‍රමාණය තිබුණත් භූමිය තුළ අද වන විට අක්කර තිස් ගණනක් නැත. භූමියේ ඉතිරිව ඇත්තේ අක්කර 14ක ප්‍රමාණයකි. එම අක්කර 14ද අද නැත. ඒ ප්‍රමාණයද බලහත්කාරයෙන් ඇල්ලීමට මුස්ලිම් ජාතිකයන් ක්‍රියා කර ඇත. මුහුදු මහ විහාරයට අයිති භූමිය තුළ පමණක් නොව පොතුවිල් අවට රජයේ ඉඩම් ආශ්‍රිතව ඕනෑ තරම් පුරාවස්තු අදටත් හමුවෙයි. මතු පිට නැති වූවාට එවැනි පුරාවස්තු පොළොව යට තිබේ. ඊට සාක්ෂිද ඕනෑ තරම් තිබේ. 

මේ ආකාරයට පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති දේ එසේම ලාංකික ප්‍රෞඪ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථාන විනාශ වන තෙක් රටේ පාලකයෝ නිහඬවීම ඇත්තෙන්ම ලැජ්ජා විය යුතුය.

මුහුදු මහ විහාරයට අයත් භූමිය පුරාණයේ තිබූ විදිහ ගැන කීමට ඕනෑ තරම් සාක්ෂි තිබේ. කෝලක පච්චේන කියා කාම්භෝජ මහ වංසයේ සඳහන් වෙන්නේ මේ ප්‍රදේශය ගැනය. එහි  සොටා එතොට නැත්නම් තොට්ඨන විහාරයක් ගැනද කියැවෙයි. මේ විහාරය තිබූ ස්ථානයෙන් ගොඩබැස්ස නිසා විහාර මහ දේවියට විහාර නම පට බැඳී ඇත. අතීතයේ සිටම බෞද්ධ ප්‍රබෝධයක් ඇති වූ ස්ථානයක් කීමට තවත් සාක්ෂි තිබේ. මේ ප්‍රදේශයේ ඕනෑම තැනක මීටර් සියයක් යෑමට පෙර නටබුන් හමුවෙයි. අඩුම තරමේ පෞරාණික වටිනාකමක් ඇති වෙනත් මොනයම් හෝ දෙයක් හමුවෙයි.

වෙහෙර විහාර ඉදිවූ ස්ථාන දැකිය හැකිය. ඉන් පෙනී යන්නේ අතීතයේදී මුහුදු මහ විහාරය අවට බෞද්ධ ප්‍රබෝධයක් තිබූ බවකි. ඉන් කියැවෙන්නේ බෞද්ධ උරුමයක් තිබූ පළාතක් කියාය. එහෙත් අද වනවිට මේ ප්‍රදේශය මුස්ලිම් ආක්‍රමණයකට නතු වී තිබේ.

එලෙස ඉඩම් බලෙන් අල්ලාගත් අය ප්‍රකාශ කරන්නේ මේ ඉඩම්වල තමන් වසර සියයක් පමණ ජීවත් වූ බවකි. එහිදී තව ගැටලුවක් පැනනඟී. සෙනරත් පරණවිතාන මහතා එදා මුහුදු මහ විහාරයට අයත් භූමියක් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති භූමියක් ලෙස නම් කළේ ජනාවාස ප්‍රදේශයක්ද නැත්නම් මුඩු බිමක්ද කියා ප්‍රශ්න කළ යුතු යැයි උඩලමත්තේ රතනප්‍රිය හිමියෝ කියති. නමුත් සෙනරත් පරණවිතාන මහතා මේ ප්‍රදේශයේ ගවේෂණය කරමින් කැණීම් කිරීමෙන් පසු ප්‍රදේශය පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇතැයි කියා නම් කළේ සාක්ෂි සාධක ඇති හෙයිනි.

නමුත් එය මේ රටේ දේශපාලන අධිකාරියට අනෙකුත් පුරාවිද්‍යා නිලධාරීන්ට තවමත් නොපෙනීම කනගාටුවට කරුණකි. එසේ නම් පසුව ලබාදුන් අක්කර 30 හෝ ආරක්ෂා කරගත යුතුය. එයටද දේශපාලන අධිකාරිය සහ නිලධාරීන් කැමැති නැත. මුහුදු මහ විහාරයේ ඉතිහාසය ගැන කියූ සෙල් ලිපියක් තිබිණි. එහෙත් එය කාලයක සිට අතුරුදන් වී ඇත. ඒ හරහා බෞද්ධ ඓතිහාසික උරුමය විනාශ කිරීමට කාට හෝ ඕනෑ වී තිබේ. මේ ප්‍රදේශයේ සෙල් ලිපි ගණනාවක් තිබේ. ඒවා ගැන නිසි සොයා බැලීමක්ද කර නැත. කැණීම් කර නැත.

අඩුම තරමේ සෙනරත් පරණවිතාන මහතා සොයාගත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති දේ හෝ ආරක්ෂා කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හැකියාවක් තිබිය යුතුය. එයද අද ඉටු වන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් භූමියක් ලෙස නම් කිරීමට පමණක් නාම පුවරු පමණක් එල්ලා ඇත.

නමුත් අද පුරාවිද්‍යා නිලධාරීන්ද පෙන්වා දීමට උත්සාහ කරන්නේ මුහුදු මහ විහාරය අවට භූමිය පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති දෑ නැතැයි කියා බව උඩලමත්තෙ රතනප්‍රිය හිමියෝ පවසති. ඊට ඕනෑ තරම් සාක්ෂි තිබේ. මුහුදු මහ විහාරයේ ඇති විහාර මහ දේවියගේ සහ අනෙක් පිළිම සහිත භූමිය අදටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් යැයි කියා ගැසට් කර නැත. එවැනි තැන් තවත් තිබේ. 

1965දී ගැසට් එකකින් අක්කර 30ක පමණ භූමියක් වෙන් කිරීමේදී මේ භූමිය ඉතිරි වූවා යැයි සිතීමට බැරිය. 1970දී පමණ එම ප්‍රදේශය සොයාගත් බවට නෛතික කාරණා ඕනෑ තරම් තිබේ. ඒ භූමිය අදටත් ගැසට් නොකර සිටීම පිටුපස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තවත් බොරුවක් කරන බව රතනප්‍රිය හිමියෝ කියති.  ඒ අක්කර 30ට එම භූමිය අයත් බව ඔප්පු කිරීමට උත්සාහ ගැනීමය. ඊට අදාළ පිඹුරුපත්ද සකසා තිබේ. එම කාර්යයේදී මේ ප්‍රදේශයේ හිටපු සහකාර කොමසාරිස්වරයකුද මුස්ලිම්වරුන්ට උදවු කර තිබේ. මේ සියලු කාරණා පදනම් කරමින් වසර සියයක කාලයක් මුස්ලිම්වරු මේ ප්‍රදේශයේ පදිංචිව සිටියා යැයි කියා කීමට උත්සාහයක නිරත වන්නේ එහෙයිනි.

ඒ හරහාද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බෞද්ධ උරුමය විනාශ කරමින් මුස්ලිම් ජනාවාස බිහි කිරීමට දායක වී තිබේ. පිළිම සහිත භූමිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරාගෙන වන්දි දුන්නත් තවමත් ගැසට් නොකර සිටීම හරහා ඒ බව සනාථ වෙයි. එසේම මෙම අක්කර හතරක ප්‍රදේශය එදා වගා කළ මුස්ලිම් ජාතිකයා වූයේ අබ්දුල් මජිඩ්ය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අබ්දුල් මජිඩ්ට කොතරම් කැමැති දැයි ඔප්පු වන තවත් සාධකයක් තිබේ. ඒ ඔහු වගා කළ භූමියට වන්දි දී එම පූජා භූමිය ආරක්ෂා කිරීමට මජිඩ්වම පත් කිරීමය. ඒ 1970දීය.

එදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ප්‍රදේශය රැක බලා ගැනීමට මුරකරුවකු පත්කරන්නේ අක්කර 30ක භූමියක් තිබූ හෙයිනි. ඒ අක්කර 30 ක්‍රමයෙන් නැවත මුස්ලිම් ආක්‍රමණයකට නතු වනතුරු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කට ඇරගෙන බලා සිට ඇත. මින් පෙනී යන්නේ මුහුදු මහ විහාර භූමියට අයත් අක්කර 72කට වඩා භූමිය විනාශ කිරීමට පුරාවිද්‍යා නිලධාරීන්ද සෘජුවම වගකිව යුතු බව යැයි උඩලමත්තෙ රතනප්‍රිය හිමියෝ පවසති. 

නමුත් විහාරයේ උඩලමත්තේ හිමියන් පවසන්නේ දැනට විහාරස්ථානයට ඉතිරිව ඇති අක්කර 14 පමණක් ලබාදීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කරන බවය. එහෙත් මුහුදු මහ විහාරවාසී හිමිවරු ඉල්ලන්නේ විහාරස්ථානයට පවරා දී ඇති අක්කර 72ක භූමියම අවශ්‍ය බවය. වත්මන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක විසින් මුහුදු මහ විහාරයට අයත් ඉඩම් මුස්ලිම්වරුන්ට ලබාදීමට මුල්වූ බවටද උඩලවත්තේ හිමියෝ චෝදනා එල්ල කරති.

ඊට හොඳම නිදසුන ලෙස උඩලමත්තෙ හිමියෝ පෙන්වා දෙන්නේ විහාරමහ දේවියගේ පිළිමය හමුවූ ස්ථානයේ භූමිය ගැසට් නොකර තබා ගැනීමය. එම ඉඩම තවමත් මැන නැත. එය පුරාවිද්‍යාවට පවරා ගත්තේ එම ඉඩම අල්ලාගත් අබ්දුල් මජීඩ්ට මුරකරු තනතුරක් දීමටද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර ඇතැයි උඩලමත්තේ හිමියෝ පවසති. එසේම අබ්දුල් මජීඩ්ගේ පුතාට එනම් අබ්දුල් මජීඩ් වහප්ට දැන් මුරකරු තනතුර ලබාදී ඇත.

මේ මුරකරු මුහුදු මහ විහාරයට අයත් භූමිය අල්ලා ගනිමින් පුරාවිද්‍යා නටබුන් විනාශ කරන බවද උඩලමත්තේ රතනප්‍රිය හිමියෝ පවසති. එනිසා මුහුදු මහ විහාරයට පවරා දුන් අක්කර 72 ලබාගන්නා තෙක් මෙම සටන දිගටම ගෙන යන බව හිමියෝ පවසති. 1951.01.26 දින සෙනරත් පරණවිතාන මහතා විසින් ගැසට් කර පවරාදුන් භූමියම නැවත මුහුදු මහ විහාරයට ලබාදීමට වත්මන් රජය කටයුතු කරනු ඇතැයිද උන්වහන්සේ ප්‍රකාශ කරති. එසේ නොවන්නට පුරාවිද්‍යාවේ උත්සාහය වූ අක්කර 14ක භූමිය පමණක් භාර නොගන්නා බවද රතනප්‍රිය හිමියෝ පවසති.

ප්‍රගීත් සම්පත් කරුණාතිලක 

පුරාවිද්‍යාවට අයත් ඉඩම් නිදහස් කර ගැනීමට  කටයුතු කරනවා 

අපි මේ සියලු කාරණා ගැන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගෙන් විමසීමක් 

කළෙමු. එහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසුවේ මෙවැන්නකි. මේ එම සංවාදයයි. 

මුහුදු මහ විහාරයට අයත් භූමි ගැන අපි අධ්‍යයනය කළා. කරන්න ඕන කාර්ය භාරය ගැන අපි තීරණය කළා. පුරාවිද්‍යා වටිනාකමක් තියෙන එක බිම් අඟලක්වත් ඉවත් කරන්නේ නැහැ. සමහර විට නැවත මැනුම් කරනවා. එතකොට අක්කර 72ට වැඩිවෙන්නත් පුළුවන්. 

මුහුදු මහ විහාර භූමියේ පිහිටි විහාර මහදේවියගේ පිළිරුව පිහිටි කොටස පුරාවිද්‍යාවට පවරා ගන්නට ගැසට් කරලා නැහැ. ඒ ඇයි?

මේ අවස්ථාවේ සියලුම දේ නිරාකරණය කරන්න ඕනෑ. ඒ ගැන සාකච්ඡ කෙරෙනවා. ඒ සඳහා අපි කාල රාමුවක් හදාගෙන ඉඩම් මනිනවා. 

අබ්දුල් මජීඩ් මුහුදු මහ විහාරයට අයත් ඉඩම් අල්ලාගත් කෙනෙක්. ඔහුට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මුරකරුවකු ලෙස රැකියාවක් ලබාදී තිබෙනවා. ඒ චෝදනාව ඔබටයි එල්ල වෙන්නේ මොකද ඒ ගැන කියන්නේ?

ඒ පැත්තේ කෙනකුට රැකියාව දුන්නේ එම විහාරයට එන අය සමඟ සන්නිවේදන කටයුතු කිරීම පහසු නිසයි. අනෙක ඔහු අතින් පුරාවිද්‍යා රක්ෂිතයට කිසිදු හානියක් වෙලා නැහැ. 

මුහුදු මහ විහාරයට අයත් ඉඩම් නැවත පවරා ගැනීමේදී පදිංචි ජනතාව ඉවත් කරන්න යෑමෙන් දේශපාලන ගැටලුවක් මතුවෙනවා නේද?

මේ ගැන සොයා බලා කටයුතු කරන්න ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් උපදෙස් දුන්නා. සම්බන්ධිකරණ කමිටුවක් මාර්ගයෙන් පවතින ගැටලුවලට ඉක්මනින් විසඳුම් ලබා දෙනවා. 

පුරාවිද්‍යා භූමියේ දැනට පදිංචි ජනතාව වෙනත් ස්ථානවල පදිංචි කරවන්නේ කොසේද?

එතකොට ඊට අදාළ ආයතන සම්බන්ධීකරණය කරගෙන අදාළ කටයුතු සිදු කරනවා. කොහොමත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් නිදහස් කර ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලෙස අප කටයුතු කරනවා.

පුරාවිද්‍යා භූමිය අපේ අයිතියක්– ඒක රකින්න කටයුතු කරනවා 

මුහුදු මහා විහාරයට අයත් අක්කර 72ක භූමිය නැවත පවරා ගැනීම සම්බන්ධව අප පරිසර හා වනජීවී සම්පත් ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගෙන් විමසුවෙමු. 

අපි අගමැතිතුමාගේ සහ ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මුහුදු මහ විහාරයට ගියා. ක්ෂේත්‍ර පරීක්ෂාවක් කළා. එතැනදී අපට පෙනුණා මුහුදු මහ විහාරයට අයත් ඉඩම් විතරක් නෙමෙයි වෙරළ සංරක්ෂණ ඉඩම්, පාළු ඉඩම් අල්ලාගෙන ඉන්නවා. වෙරළ සංරක්ෂණ ඉඩම්වල සුසානභූමි පවා හදලා. 

මම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සමඟ පැහැදිලිව සාකච්ඡා කළා. එහිදී එය හඳුනා ගත්තා පැහැදිලි ලෙසම පුරාවිද්‍යා වස්තු සහ සාධක ඇති අක්කර 61ක්. මේ ඉඩම්වල ගෙවල් හදලා. 1951දී සෙනරත් පරණවිතාන හිටපු කොමසාරිස්තුමා අක්කර 72ක් ඉඩම වෙන් කරලා තිබ්බා. 1965දී එහි අක්කර 30ක්ම අඩු වුණා. 

දැන් ඒකෙන් 14 දක්වා අඩුවෙලා. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ට, වෙරළ සංරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්ට සහ මිනුම්පතිතුමියට උපදෙස් දුන්නා නිවැරැදිව මැනුම් කරලා ගැසට් කරන්න කියලා. ඊට පස්සේ ඒ ඒ භූමි ප්‍රමාණය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගන්නවා.

ඉන්පසු පදිංචි අයට වෙනත් තැන්වල ඉඩම් දීලා නිවාස හදලා දීලා මේ ගැටලුව නිරාකරණය කරන්නයි හදන්නේ. පුරාවිද්‍යා භූමිය අපේ අයිතියක්. මොන ප්‍රශ්න ආවත් ඒක රකින්න කටයුතු කරනවායි ඇමැතිවරයා පැවැසීය.